ඇල්ෆාටොක්සීන් අඩංගු පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය ඇරඹේ


නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ " ඇල්ෆාටොක්සීන් " නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීම සදහා අදදින උදෑසන 9.30 ට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. ( S.A.G.T. ) පර්යන්තයේ නවතා ඇති බාර්බරා නැවට පැටවීම ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා පැවසීය .

මෙහි ඇමෙරිකානු ඩොලර් 152,250 ක් හෙවත් රුපියල් තුන් සිය නව කෝටි හය ලක්ෂ හත්සිය පනහක් වටිනා , කිලෝ ග්‍රෑම්105,000 බරැති පොල්තෙල් ප්‍රමාණයක් බහාලුම් 06 ක අසුරා තිබේ .

මෙම පොල්තෙල් කටාන රිෆයිනරීස් පුද්ගලික සමාගම විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණි .

මෙම පොල්තෙල් තොගය ඉකුත් 04/06 දින ආනයනයකරුගේ පෞද්ගලික ගුදමේ සිට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී.පර්යන්තය වෙත රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැගෙන විත් තිබුණි .

මෙම ප්‍රති නැව් ගත කිරීම අධීක්ෂණය කිරීම සදහා රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත , රේගු නිවාරණ අංශයේ සහ රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී.පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙම පොල්තෙල් තොගය රැගත් බාර්බරා නෞකාව අද දින සවස 5.00 ට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. පර්යන්තයෙන් මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය .

 

 



Recommended Articles