ඇමෙරිකාවේ සිට ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් සහ ඉන්දියාවේ රැදී සිටි ගුවන් මගීන් පිරිසක් ද වශයෙන් ගුවන් මගීන් 306 දෙනෙකු  රැගෙන අද (22) දින අලුයම  ගුවන් යානා 02 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා හරහා මෙම කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය අද දින අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙහි ව්‍යාපාරික පංතියෙහි ගුවන් මගීන් 16 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියෙහි ගුවන් මගීන් 274 දෙනෙකු ද තවත් කුඩා දරුවන් 02 දෙනෙකු ද මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියහ .

මෙම ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට අමතරව , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු ජාතිකයන් නිලධාරීන්  පිරිසක් ද පැමිණ තිබේ .

මීට අමතරව ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ද රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානය ද අද දින අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබේ .



Recommended Articles