ඇමරිකානු හමුදා අඟහරුවාදා ඉරානයට එරෙහිව යළිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කළේය.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා ඉලක්ක කර ගනිමින් 'ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය' විසින් මෑතකදී සිදු කිරීමට උත්සාහ කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ඇමරිකානු ප්‍රහාර එල්ල වූ බව Centcom සඳහන් කළේය.
දකුණු ඉරානයේ සිරික් (Sirik) ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් විසිරී ගිය කොටස් නිවසක් මතට පතිත වීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ බව ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය පැවසීය.
ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානය විසින් ඉරාකයේ සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව දේශීය රාජ්‍ය මාධ්‍ය සහ ජෝර්දාන සන්නද්ධ හමුදා වාර්තා කළහ. කුවේටයේ සහ බහරේනයේ ද ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව "කනගාටු වනු ඇති" බව IRGC ප්‍රකාශ කළේය. ඉරානයේ අර්ධ-නිල 'ටස්නිම්' පුවත් ඒජන්සියට
අනුව, සිරික් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස බදාදා අලුයම වන විට ජෝර්දානයේ අකාබා හි පිහිටි ඇමරිකානු මැරීන් බලකා කඳවුරක්
වෙත බැලස්ටික් මිසයිල රැසක් එල්ල කර තිබුණි.
තමන් විසින් බැලස්ටික් මිසයිල 13ක් අඩපණ කළ බවත්, ඉන් 10ක් විනාශ කළ අතර තුනක් ජනාවාස නොමැති දුරස්ථ ප්‍රදේශවලට
පතිත වූ බවත් ජෝර්දාන සන්නද්ධ හමුදා ප්‍රකාශ කළහ. ඉරානයෙන් එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ
තුවාල වීමක් සිදුවී නොමැත.
එමෙන්ම, අකාබා සහ මෆ්රාක් පළාත්වල පදිංචිකරුවන්ට අහසින් වැටිය හැකි සුන්බුන් පිළිබඳව රටේ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබූ බවත්, එම අනතුරු ඇඟවීම මේ වන විට අවසන් කර ඇති බවත් වාර්තා විය.
මීට අමතරව, බදාදා අලුයම එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ
බව කුවේට් හමුදාව ප්‍රකාශ කළේය.

