ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක්


ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමෙරිකාවේ Helpline Lanka  හරහා අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි. මෙරට ඇමරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය.

ආසාදන තත්ත්ව ,කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් උදව් උපකාර කළ මිතුරු රටවල් සියල්ලටම ගෞරව ස්තුතිය පුද කර සිටින බවයි. එම අර්බුදකාරී තත්ත්වයට පෙර පැවති වසංගත කාලයේ පටන්ම සියලුම රටවල් මිත්‍රශීලී වෙමින් ශ්‍රී ලංකාව අත්නොහැර හැකි සෑම අයුරින්ම උපකාර කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ලැබෙන ඖෂධ රේගුවෙන් නිදහස් කරගැනීමට ගත වන කාලය අඩු කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ආධාර වශයෙන් ලැබෙන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් ඒ මහතා කීය.

බොහෝ විට ඒවායේ ලිපිගොනුවල හා භාෂා ගැටලු මේ සඳහා බලපාන බවත් රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් එම ගැටලූ බොහොමයක් මඟහරවා ගත හැකි බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය



Recommended Articles