ඇන්තුරියම් තොගයක් කටුනායකදී අත්අඩංගුවට


රුපියල් ලක්ෂ පනහක් පමණ  වටිනා ඇන්තූරියම් මව් ශාක පදුරු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයෙකු අද (30දා)  දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
 
මොහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරිකයෙකි .
 
තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් යානය පළමු වරට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානය වීම ද විශේෂත්වයකි .
 
 මෙම ව්‍යාපාරිකයා තම ගමන් මලු දෙකක මෙම ඇන්තූරියම් මව් ශාක පදුරු 200 ක් අසුරා , සගවා ගෙන පැමිණ තිබුණි .
 
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙන්ම දැනට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති ශාකයක් වන මෙම ඇන්තූරියම් , රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට මෙම ව්‍යාපාරිකයා තැත් කර තිබුණි .
 
 කටුනායක ගුවන් තොටුපළ රේගු දිවා කාර්යය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , මේ වනවිට මෙම ඇන්තූරියම් මව් ශාක තොගය සහ මේවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
 
 
 
 


Recommended Articles