ඇතැම් පොලිස් නිලධාරීන් වසර 30ක් 37ක් නිල නිවාසවල


නාගරික ප්‍රදේශවල සේවයේ නියුතු ඇතැම් පොලිස් නිලධාරීන් පොලිස් නිලනිවාස වල වසර 30-37 ජීවත් වන බවත් එම පහසුකම් අනෙකුත් සහෝදර පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ටද ලබාදීමේ අරමුණින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩ බලන පොලිස්පතිවරයා මේ බව අවධාරණය කර සිටියේ බිලීවස් ඊස්ට්‍රන් ආගමික මධ්‍යස්ථානය මගින් මහනුවර පොලිස් නිලධාරීන්ගේ පවුල්වල දූ දරුවන් 464 දෙනෙකුට අධ්‍යාපන උපකරණ සහ මුදල් වවුචර ලබාදීමේ මහනුවර කොට්ඨාශ වැඩසටහනට එක්වෙමිනි. එම වැඩසටහන මහනුවර දිස්ත්‍රික් කලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නාගරික ප්‍රදේශවල සේවය කරන අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ පවුල්වල දූ දරුවන්ටද නගරයේ හොඳ පහසුකම් ඇති පාසල්වල අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බවයි. නාගරික පොලිස් නිල නිවාස වල දීර්ඝ කාලවල් ගත කරන  පොලිස් නිලධාරීන් එම පහසුකම අනෙකුත් සහෝදර පොලිස් නිලධාරීන්ට ලබාදීමට කාරුණික විය යුතු බවද  පැවසීය.

මෙරට ක්‍රියාත්මක  නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ප්‍රයෝජන ගැනීමට සිසු දරු දැරියන් ක්‍රියා කළ යුතු බව පැවසූ පොලිස්පතිවරයා තමන් ද පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව උසස් පෙළ සමත්ව උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ද පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් යන කඩඉම් තුනෙන්ම පොලිස් සේවයට එක්වීමට හැකි වූයේ මෙරට ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනය නිසා බවද පැවසීය.

උනන්දුව උත්සාහය දක්ෂකම ඇත්නම් ඕනෑම සිසු දරුවෙකුට මෙරට නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත හැකි බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



Recommended Articles