ඇතැම් තැන්වල ලුණු හිඟයක් - කැට ලුණු කිලෝවක් 450- රු.500 දක්වා ඉහළට


ලුණු තොග සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ තොගයම රාජසන්තක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

කෘත්‍රිම ලෙස ලුණු හිඟයක් ඇති කර වැඩි මිලට ලුණු අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව ලුණු තොග සඟවා ගෙන සිටින පිරිස්වලට හා අසාධාරණ මිල ගණන්වලට ලුණු අලෙවි කරන පිරිස් සොයා ගැනීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.

ලුණු පැකට්වල සඳහන් මිලට වඩා වැඩි මිලට ලුණු අලෙවි කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවද පෙන්වා දෙයි.

ඉදිරි සතිය වන විට විදේශ රටවලින් ලුණු තොග ලැබීමට නියමිතව තිබෙන බවත්, මේ නිසා තොග සඟවා ගැනීමකින් තොරව සාමාන්‍ය මිල ගණන් යටතේ ලුණු අලෙවි කරන ලෙස නිෂ්පාදන ආයතනවලින් හා වෙළදුන්ගෙන් ඉල්ලා සිටියි.

යම් ලෙසකින් ලුණු තොග සඟවා ගෙන සිටියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් දඩ මුදල්වලට අමතරව අදාළ ලුණු තොගයත් රාජසන්තක කිරීමට හැකි නීති පවතින බවද එම අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල ලුණු හිඟයක් ඇති වී තිබෙන අතර, මීට සමගාමීව  වෙළෙඳ පොළ තුළ ලුණු මිලද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ සඳහන් කරති. ඇතැම් ප්‍රදේශවල පිරිසිදු කැට ලුණු කිලෝ එකේ පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වෙයි.

 



Recommended Articles