ඇගිලි සටහන් නොමැතිව ලක්ෂ 32ක් අතිකාල අරගෙන


මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයින් සදහා  ඇගිලි සලකුනු යන්ත්‍රය මගින්  පැමිණිමේ සහ පිටවිමේ වේලාවන්  තහවුරුකර ගැනිමකින් තොරව  අතිකාල දිමනා ලෙස ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 3.2ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

 රාජ්‍ය ආයතනවල සියලුම රාජ්‍ය සේවකයින්ගේ  පැමිණිමේ සහ පිටවිමේ වේලාවන්  ඇගිලි සලකුණු යන්ත්‍රය මගින් තහවුරුකළයුතුය. තවද අතිකාල සහ  නිවාඩු දින වැටුප් වැනි සාමාන්‍ය රාජකාරි  වේලාවන්ගෙන් පරිබාහිරව  සිදුකරණ දිමනා  ගෙවිම සදහා  පදනමක් ලෙස  පැමිණිමේ හා පිටවිමේ වෙලාව  භාවිතා කරන්නේ නම්  ඇගිලි සලකුණු යන්ත්‍රය මගින්  පැමිණිමේ සහ පිටවිමේ වේලාව තහවුරු කළයුතුය. ඉහත චක්‍ර ලේඛවලට පටහැනිව  අතිකාල දිමනාගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් නව ඇගිලි සලකුනු යන්ත්‍රයක්  සවිකිරිමට වහාම පියවරගතයුතු අතර  අතිකාල හා අනිකුත් දිමනා  අනුමත කර සහතික කිරිමට පෙර  එවා චක්‍රලේඛ උපදෙස්වලට අනුකුල බව  තහවුරු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙකි ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  ඇගිලි සලකුණු යන්ත්‍ර සවිකිරිමට  කටයුතු කරණු ලබන බවය. අතිකාල හා නිවාඩු දින  ගෙවිම් සිදුකරණු ලබන්නේ පැමිණිමේ ලේඛනය බැහැරයාමේ ලේඛනය  සහ ධාවන සටහන් සමග පරික්ෂාකිරිමෙන් පසුව බවද  කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

 ජේ.කේ.එල්. චාමින්ද



Recommended Articles