ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට පක්ෂ එකතු වෙනවා නම් එය වැරදියි


රට දියුණු කිරීම සඳහා පක්ෂ එකතු වීම යහපත් වුවද ආණ්ඩුවෙන් කකුලෙන් ඇදීමට එකතු වෙනවා නම් එය වැරදි බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී අද (20දා) දහවල් ප්‍රකාශ කර සිටියේය.

පැවති පළාත් පාලන මැතිවරණයේ බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීම වෙනුවෙන් මේ දිනවල විපක්ෂය හා විවිධ පක්ෂ එකට එකතුව සාකච්ඡා පවත්වමින් සිටීම පිළිබඳව ඔහු එලෙස පැවසීය.

 “ මෙහෙම එක එක කණ්ඩායම් විදියට පක්ෂවලට බෙදී වෙන්වී සිටිය හොත් මේ රටේ කිසිම දියුණුවක් සංවර්ධනයක් සිදු කරන්න බැරි වෙනවා. මේ දිනවල ලොකු කථා බහක් ඇති වෙලා තියෙනවා පක්ෂ එකට එකතුවෙලා රටේ වැඩ කොටසක් කරන්න යනවා කියලා. ඒ විදියට එකතු වෙන්න ඕනැ තමයි රට දියුණු කරන්න නම්. හැබැයි පවතින රජයේ කකුලෙන් අදින්න ඒ විදියට එකතුවෙනවා නම් ඒක හොඳ මදි.

මම විදෙස් සංචාර ගොඩක් ගිහින් තියෙනවා. ඒ රටවල ඒ වගේ සමගියෙන් එකමුතු කමින් එකම අධිෂ්ඨානයකින් රට දියුණු කරන්න වැඩ කරනවා. ඒ වගේ අපේ රටෙත් ඒ පැත්තට මේ පැත්තට එකතු වෙලා බෙලි කපා ගෙන, රණ්ඩුසරුවල් ඇති කර ගනිමින් එකතු වෙනවාට වඩා මේ වගේ හැමෝම එකට එකතුවෙලා රට ගොඩනගන්න සහය දෙනවා නම් වටිනවා. හැමෝගෙම හිත්වල මේ රට දියුණු කරන්න ඕනැ කියලා හදවතේ තියෙනවා නම්,  හොර බොරු වංචාවලින් තොරව ඉදිරියට යන්න ඕනැ කියන පරමාර්ථය තියෙනවා නම් ඒ වගේ කණ්ඩායම් එකම තැනකට එකතුවෙන්න ඕනැ.

මම උදාහරණයක් කියනවා නම්,  මොනම හරි  පින්තූරයක් එකම පාටකින් පාට කළොත් ඒකෙ ලස්සනක් නෑ. විවිධ පාට එකතු කරලා ඒ පින්තූරය පාට කරද්දී තමයි ඒ ලස්සන පේන්නේ. ඒ වගේ තමයි මේ රටේ සියලුම පක්ෂ කණ්ඩායම් එකතු වුණොත් මේ රට ලස්සන තැනක් බවට පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඉස්සර පෙළ පොත්වල තිබුණා වගේම තව අවුරු ගානක්ම මේ රට “ තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් “ කියලා තමයි තවදුරටත් කියන්න වෙන්නේ.

එහාට මෙහාට අදින්නේ නැතුව හැමෝම එකම තැනකට එකතුවෙන්න. එකතුවෙලා රට දියුණු කරන්න. මිනිසුන්ගේ ආර්ථිකය දියුණු කරන්න. ඒක තමයි විය යුත්තේ.  

 රටේ ආණ්ඩුවක් පත්වෙලා තියෙනවානේ. ඒ තියෙන ආන්ඩුවට විරුද්ධව වැඩ කරලා වැඩක් නෑ. ඒ වගේ කරන වැඩවලට තමයි කකුලෙන් අදිනවා කියලා කියන්නේ. එහෙම නොකර මේ හැමෝම ආණ්ඩුවට උදව් කරන්න ඕන මේ රට දියුණුව කරා ගෙනියන්න. එහෙම නොකරන තරමට හැමදාම මේ රටට කියන්න වෙන්නේ තුන්වැනි ලෝකේ දියුණු වෙමින් පවතින රටක් කියලා තවත් පරම්පරා ගණනාවක් ඉදිරියටත් යනකම්ම.

වැඩි බලයක් තියෙන්නේ ආණ්ඩුවට. කොච්චර කථා කළත් වැඩක් නෑ. ආණ්ඩුව ගන්න තීන්දු ඒ අය ක්‍රියාත්මක කරනවා. එහෙම නම් ඒ තැනට හැමෝම එකතු වෙන්න ඕනැ.  එහෙම නොවන තාක් හැමදාම අපට  ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ”.

රංජිත් කරුණාවීර

 

 

 

 



Recommended Articles