ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා


ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි  ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත  ටැබ්ලට් පරිගනක සහ විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ් පරිගනක අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් මහා සංඝයා වෙත පිරිණැමීම මෙහිදී සිදු විය.

"වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික දියුණුව, අධ්‍යාත්මික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අභියෝගයක්.  නමුත් මෙම වැඩසටහනෙන් පැහැදිලි වෙනවා තාක්ෂණය සහ නවෝත්පාදන, බෞද්ධ දර්ශනය  ඉගැන්වීම්ට,  සුරැකීමට සහ ප්‍රචාරය කිරීමට කොතරම්  අර්ථවත් ලෙස යොදාගත හැකිද කියලා.

ත්‍රිපිටකය හුදෙක් ධර්ම ග්‍රන්ථ එකතුවක් පමණක් නොවෙයි.  එය බෞද්ධ ශිෂ්ටාචාරයේ සදාචාරාත්මක, දාර්ශනික හා අධ්‍යාත්මික පදනමයි.  මෙම පූජනීය ධර්ම ග්‍රන්ථවල⁣ට  තරුණ සංඝයා වහන්සේලාට වඩාත් ඉක්මනින් ප්‍රවේශ වීමට හැකිවීම තුළින් සංඝ පරම්පරාව අතර සබැදියාව ශක්තිමත් වෙනවා.  ඒ වගේම වර්තමාන ලෝකය තුළ  ධර්මය හැදෑරීමට, ප්‍රගුණ කිරීමට සහ ජීවිතයට බුද්ධ ධර්මය ළගා කර ගැනීමට  අවස්ථාව සැළසෙනවා.

මෙවැනි ව්‍යාපෘති වලට සහය දැක්වීමට වගේම ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා. බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය වැනි ආයතන පෝෂණය කිරීම අපේ සමාජයේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික යහපැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි  රජය සලකන්නේ.

බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය රෝගාතුර භික්ෂූන් වහන්සේලාට ලබා දෙන රැකවරණය, විවේකය, දයාව, ගෞරවය සහ  සේවය අපගේ ජාතියේ උසස්ම පරමාදර්ශයන්ට කදිම නිදසුනක්.

ද්‍රව්‍යමය වශයෙන් හෝ අධ්‍යාත්මික දිරිගැන්වීම් තුළින්  දැක්වූ සහයෝගය, සාමූහිකත්වයේ උදාරත්වය පිළිබිඹු කරනවා. යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 



Recommended Articles