අර්බුදයට විසඳුම් සොයා ඇමතිවරු විදෙස්ගත වෙති


ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසදුම් සොයා ඇමතිවරු කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් 06/27 රාත්‍රී සහ 06/28 දින අලුයම විදේශ ගත වී තිබේ.

ඒ අනුව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 06/27 දින රාත්‍රී කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ. අමාත්‍යවරයා 06/27 දින රාත්‍රී 08.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

ඔහු සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ද මෙම ගුවන් යානයෙන්ම කටාර්  රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබේ. ඔවුන් කටාර් රාජ්‍යයේ නිත්‍ය ඉන්ධන සැපයුම්කරුවෙකු සොයා ගැනීමට මෙම සංචාරයේ දී කටයුතු කිරීමට නියමිතය.

මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ද 06/28 දින අලුයම ප්‍රංශය බලා පිටත්ව යාම සදහා ඩුබායි වෙත පිටත්ව ගොස් තිබේ. ඔහු 06/28 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඒ සදහා ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

එළඹෙන ජුලි මස 03 වැනි දින අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  වෛද්‍ය  සමන් වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසදුම් සොයා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතය.



Recommended Articles