අබුඩාබි හරහා ඉතාලි යන්න ගිය ගමන කටුනායකින් නවතී


කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු 06/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Imigration and Emigration Boarder Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 28 හැවිරිදි වියේ පසුවන ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙකි .

ඔවුන් 06/25 දින රාත්‍රී 09.45 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැදී සිටින අංගනයේ රැදී සිටියදී , ඔවුන්ගේ අස්වාභාවික හැසිරීම් රටාව නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔවුන් කැදවා ප්‍රශ්ණ කරමින් , ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර දෙක සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගෙන තිබේ .

මෙසේ සොයා ගත් ලියකියවිලි සියල්ල දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමෙන් පසු , ඒවා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ .

ඉන්පසුව මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ



Recommended Articles