අපරාධකරුවන් දෙදෙනෙක් ඩුබායි සිට ලංකාවට පිටුවහල් කරයි


මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු 09/03 දින අබුඩාබි නුවර සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මොවුන් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය විසින් පහර දීමට යොදා ගත් ඩ්‍රෝන යානා සහ මිසයිල සහ ඒවා ඉලක්ක වෙත වැදී පුපුරන ආකාරය පිළිබඳ දර්ශන තම ජංගම දුරකථන වල ගබඩා කර තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාරගත කර සිට මෙසේ මෙරටට පිටුවහල් කර එවා තිබේ .
 
අශෝකපුර දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක නැමති 37 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සහ නීනීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම  පිළිබද චෝදනා ලබා සිටින්නෙකි .

අනෙක් පුද්ගලයා පරෙවි සුදාගේ සමීපතම අනුගාමිකයෙකු වන බූස්ස බන්ධනාගාරය තුළ ද කළහකාරී ලෙස හැසිරීමකට සම්බන්ධ අයෙකු වන කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි  36 හැවිරිදි වියේ පසුවන සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමති අයෙකි.

මොවුන් දෙදෙනා 09/03 දින උදෑසන 10.15 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

එහිදී ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබේ .

ඉන්පසු බන්ධුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතත් හර්ෂ කුමාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙතත්  වැඩිදුර විමර්ශන කටයුතු සදහා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියහ .



Recommended Articles