අපරාධ කල්ලි අතර ගැටුම්වලට ප්‍රා දේශීය දේශපාලඥයින් සම්බන්ධයි


තමන්ට ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම යෝජනාව සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.

දැනට  ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති  මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද  වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

වැඩබලන පොලිස්පතිවරයා මේ අදහස් පළ කළෙ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති හා ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ය. 

ඒ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකු 2025.05.20 දින  කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත්කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව එදිනම කථානායකවරයා,   මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් හට දන්වන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට පැවසුවේය.

රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද දැනුවත්  කරමින් වැඩබලන පොලිස්පතිවරයා මෑත කාලයේ සිදුවූ  මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල බවත් එම අපරාධ සඳහා  ප්‍රදේශීය දේශපාලනඥයන්  සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත්  අවධාරණය කළේය.

මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා අදහස් දක්වමින් තමන්ට අවශ්‍ය ආරක්ෂාව  ලබාදීම සඳහා  පහසුකම් නොමැති නම් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස  යෝජනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී  ලෂණ පවතින රටක ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ලබා දීම සිදු නොවිය යුතු බවත් අදාළ බලධාරීන් විසින් ඒ ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බව පැවසුවේය.

එමෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අදහස් දක්වමින් නවක මන්ත්‍රීවරයන් මත්ද්‍රව්‍ය  ජාවාරමට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන්ගේ ජීවිත සඳහා තර්ජන එල්ල විය හැකි බැවින් එම මන්ත්‍රීවරුන් සඳහාද ආරක්ෂාව ලබාදීම යෝග්‍ය බව පැවැසුවේය. තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අදහස් දක්වමින් ඔවුන්ගේ පක්ෂවල  අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් සිටී නම් ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පැවසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ලබාගන්නා තෙක්   සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකට ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරුන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසු වන බවත් තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුව කටයුතු කළ හැකි බවත් ය.



Recommended Articles