අපද්‍රව්‍ය බහාලුම් 20ක් යළි එංගලන්තයට ප්‍රති නැව්ගත කෙරේ


නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා තිබූ එරට අපද්‍රව්‍ය බහාලුම් 242න් , එම බහාලුම් 20ක් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත , ශ්‍රී ලංකා රේගුව විසින්  ඊයේ  දින අලුයම යළි එංගලන්තය බලා ප්‍රති නැව් ගත කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම අපද්‍රව්‍ය බහාලුම් තුළ එංගලන්තයේ නිවෙස් තුළින් ඉවත ලන නාගරික අපද්‍රව්‍ය මෙන්ම , එරට රෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය ද ඇති බව රේගුව සොයාගෙන තිබේ .

මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් 112 ක් කොළඹ වරාය තුළ වූ ගුදමක ගබඩා කර තිබූ අතර , ඉතිරි බහාලුම් 130 කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා ගුදමක ගබඩා කර තිබේ .

ඒ අනුව කොළඹ වරාය තුළ ගබඩා කර තිබූ අපද්‍රව්‍ය බහාලුම් 112 න් 20 ක් ඊයේ  දින අලුයම 6.00 ට පමණ ටෙක්සාස් ට්‍රයම්ප් ( Texas Triumph ) නැමැති නෞකාවෙන් , නෙදර්ලන්තයේ රොටර්ඩැම් වරාය ඔස්සේ එංගලන්තය වෙත කොළඹ වරායෙන් යළි ප්‍රති නැව් ගත කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles