අනුමතියකින් තොරව STC සේවකයන්ට ලක්ෂ 416ක් ගෙවලා


මහා භාණ්ඩාගාරයේ අනුමතියකින් තොරව  සී/ස  ශ්‍රී ලංකා  රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා  උත්සව හා දිරි දීමනා ලෙස රුපියල් හාරකෝටි, දාසය ලක්ෂ හැත්තෑනව දහස්, දෙසිය අසූනවයක මුදලක්  (41,679,289) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

 මීට අමතරව වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය සඳහා  රුපියල් තිස්අටලක්ෂ,හතළිස්හයදහස්,නවසියහැත්තෑඅටක (3,846,978)ක් සහ මරණ පාරිතෝෂික ලෙස රුපියල් ලක්ෂ හතක මුදලක්  මහා භාණ්ඩාගාරයේ අනුමතියකින් තොරව මෙකී ආයතනයේ සේවකයන්ට ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 භාණ්ඩාගාරයේ අනුමතිය නොමැතිව සිදු කළ ගෙවිම් අයකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. සේවකයන් සඳහා උත්සව සහ දිරි දීමනා, වෛද්‍ය වියදම්  ප්‍රතිපූර්ණය කිරීම හා මරණ පාරිතෝෂික දීමනා ගෙවීම රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ   අනුමතිය මත සිදුකර ඇති බව වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

 සී/ස  ශ්‍රිලංකා  රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන්  2024  මූල්‍ය වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ  මෙම  තොරතුරු ඇතුළත්ව ඇත.

චන්දන සමරවික්‍රම



Recommended Articles