අධිතාක්ෂණික ගුවන් තොටුපොලට හසු නොවූ කොකේන් ජාවාරම කටුනායකදී එළියට


රුපියල් කෝටි 09 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 532 ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ කාන්තාවක සමග අත් අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඇය 27 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි. ඇය සිය ගමන් මල්ලේ ෂැම්පු බෝතල් 03 ක් තුළ සහ මේ වෙනුවෙන්ම  සකස් කරන ලද විශේෂ බොත්තම් 400 ක් තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඉතියෝපියාවේ අඩිස්අබාබා ගුවන් තොටුපළෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කළ මෙම කාන්තාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට 02/28 දින උදෑසන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඉතියෝපියාවේ අඩිස්අබාබා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  ගුවන් තොටුපළ අධි තාක්ෂණික උපකරණ භාවිතා කරන ගුවන් තොටුපළ වුවද, ඔවුන්ට ද  මෙම මත්ද්‍රව්‍ය තොගය අනාවරණය කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

එනිසා මෙම අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සුවිශේෂී මත්ද්‍රව්‍ය වැටලීමක් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට මෙම ඉන්දීය ජාතික කාන්තාව සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.



Recommended Articles