අධික විෂ දුම පිටකරන වාහන ගැන පොලිස් සීසීටීවී හරහා හොයයි


අධික විෂ දුම පිට කරන වාහන පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා පොලිස්  CCTV  කැමරා යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. 

මේ පිළිබඳව සාකච්ඡාවක්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු  කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු  තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ හා පොලිස් දෙපාර්තමේන්තුවේ  උසස් නිලධාරීන් විසින් මේ වන විට සිදුකර ඇත. 

වාහන විෂදුම  නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික හා දේශගුණික ගැටලු කළමනාකරණය කර ගැනීමට ක්‍රමෝපායන් රැසක් වාහන වායු විමෝචන භාරකාර අරමුදල මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

 එම ක්‍රමෝපායන් අතර තවත් එක් පියවරක් ලෙස අධික විෂ දුම පිට කරන වාහන පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා පොලිස්  CCTV  කැමරා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

වාහන වායු විමෝචන  භාරකාර අරමුදල  විසින් විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කටයුතු උදෙසා විශාල කාර්ය භාරයක් සිදුකරයි.

මේ අනුව  වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු CCTV දත්ත ලබා ගැනිමට  අමතරව පොලිස් දෙපාර්තමේන්තුව සතු  CCTV කැමරා පද්ධතිය නවීකරණය හා තවත් පුළුල් කිරීමට අවශ්‍ය පූර්ණ සහය වාහන වායු විමෝචන  භාරකාර අරමුදල හරහා ලබාදීමට සැලසුම් කර තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  සඳහන් කරයි. 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පිවිසීමේ  අවසරය පොලිස් දෙපාර්තමේන්තුව වෙත මීට ඉහත ලබා දී තිබූ අතර එය දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වූ බවද පෙන්වා දෙයි.

රියදුරන් සිදු කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධව දඩ කොළ නිකුත් කිරීම වැනි කාර්යයන් තවදුරටත් විධිමත් කරනු පිණිස මෙම දත්ත පද්ධතිය හරහා අවශ්‍ය කටයුතු කිරීමේ බලය ද පොලිස් දෙපාර්තමේන්තුවේ  ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කර තිබේ. 

එසේම  මාර්ග නීති කඩකිරීම් හා රථ වාහන සම්බන්ධ නිතිමය කටයුතුවලදී  රථ වාහන පැවරීමේදී පැවරුම්ලාභියා සිදුකරන ප්‍රමාද (open papers)වලාන්  වර්තමාන අයිතිකරු නිවැරදිව හඳුනා ගැනීමේ ගැටලුවක් ඇතිවී තිබේ. මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට මෙන්ම රජයට ලැබිය යුතු විශාල ආදායමක් අය කරගැනීම උදෙසා රථ වාහන පැවරීමේදී  පැවරුම්ලාභියා සිදුකරන ප්‍රමාදයන් අවම කිරීම උදෙසා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා කර තිබේ.


 



Recommended Articles