"ඡන්දේ කාලේ මොකක්ද කිව්වේ, එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳනවා කිව්වා.දැන් ඡන්දය දුන්න ජනතාවට ඒ පෑන හොයා ගන්න බැරිව ඉන්නේ.එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳන ඒ පෑන අද අතුරුදහන් වෙලා.ජනතාව රකිනවා කියපු ආණ්ඩුව දැන් අයි.එම්.එෆ් එක කියන තාලයට නටනවා." යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල, පහළසියඹලෑව ගම්මානයේදී පැවති ගමින් ගමට - දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින්ය.එප්පාවල කොට්ඨාශ සමඟි ජනබලවේග අපේක්ෂක තාරක චතුර මහතා විසින් මෙම ජංගම සේවය සංවිධාන කර තිබිණි.
"සමහරු කියනවා මේක විපක්ෂයේ කාර්යභාරය නෙමෙයි කියලා.මේ රටේ යම්කිසි රටාවක් තිබුණා. විරුද්ධ පක්ෂයේ ඉන්න කොට හැමදේටම විරුද්ධ වීම. දැන් ඉන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් හොඳ නරක බැලුවේ නෑ හැමදේටම විරුද්ධ වුණා. දැන් ඒ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව එක්තරා මතයක්.අපේ මතය වෙනස්, රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න වලට උත්තර, ගැටලු වලට විසදුම්, විපක්ෂයට රාජ්‍ය බලයක් නොතිබුනත්, විමධ්‍යගත මුදල් නොලැබුනත් අපිට හැකියාවක් තියෙනවා නම්, අපිටත් පුලුවන්කමක් තියෙන්නට ඕන පුංචි දේකින් හරි රටට ශක්තියක් වෙන්න.
දැන් බලන්න සක්වල වැඩසටහන ක්‍රියාත්මක කළා ස්මාර්ට් ක්ලාස්රූම් දීලා, පුලුවන් තරම් විපක්ෂය ඒකට බැන්නා. මම යෝජනා කළා මේ රටේ දරුවන්ට මීට වඩා ඉංග්‍රීසි භාෂාව හදාරන්නට ඕන කියලා. හොඳටම බැන්නා මට. මම කිව්වා පුලුවන් නම් චීන භාෂාව, හින්දි භාෂාව, ජපන් භාෂාව ඉගෙන ගන්න. හැමදේම විහිළුවට ලක් කළා.රෝහල් පද්ධතියට ආධාර උපකාර කරන කොට ඒකත් පෙන්නුවේ නරක වැඩක් හැටියට, හොඳ නැති ක්‍රියාවක් හැටියට.එහෙම කලේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව අර යල් පැන ගිය පැරණි අදහස් තියෙන සුළු කොට්ඨාශයක්.
අපි විශ්වාස කරනවා විපක්ෂයේ ඉන්න අපිටත්, අපි කියා ගන්නවානේ විකල්ප ආණ්ඩුව කියලානේ, අපි කියනවානේ අපිට තමයි මේ රටේ ඊලඟ වගකීම ලැබෙන්න ඕන කියලා.වගකීම ලැබෙන්නටත් පෙර යම්කිසි සේවාවක් ඉෂ්ඨ කරලා ජනතාවට අපේ හැකියාව ඔප්පු කරලා අලුත් ක්‍රමවේදයකට ඔන්න ඔය සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕන.
වනඅලි - මිනිස් ගැටුම විසඳන්නට මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නෑ.ජාතික සැලැස්මක් නෑ. ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන මාර්ග සිතියමක් නෑ, ඒ මාර්ග සිතියමට කාළ සටහනක් නෑ, කිසිම දෙයක් නෑ, හැබැයි ඡන්දේ කාලේ මොකක්ද කිව්වේ, එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳනවා කිව්වා.දැන් ඡන්දය දුන්න ජනතාවට ඒ පෑන හොයා ගන්න බැරිව ඉන්නේ.එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳන ඒ පෑන අද අතුරුදහන් වෙලා.
දැන් බලන්න ගොවිජනතාවගේ ගැටලු ගැන කථා කරපු ඇත්තෝ කථා නෑ.අපි මොකක්ද කිව්වේ සෑම වගාවකටම පොහොර මිටියක් දෙනවා කිව්වා රුපියල් 5000 කට. නමුත් ජනතාව කිව්වා හැම වගාවකටම අපිට පොහොර ඕන නෑ, තේ , පොල්, රබර්, එළවලු, බවභෝග, ගොඩ බෝග, හේන් වගාව අපෝ ඒවාට ඕන නෑ 5000 පොහොර මිටිය. හෙක්ටයාරයට 25 000 ක් ලැබුණම ඇති කියලා කිව්වා.දැන් හෙක්ටයාර 02 කට 50 000 ක් දෙනවා කියනවා, අවංකවම කියන්න ඔය හෙක්ටයාරයකට දෙන 25 000 ඒ වගා කරන කාළයට අවශ්‍යය වෙලාවට ලැබෙනවාද? ඇත්තම කථාව. ඔය ලැබෙන මුදල යූරියා, ටී.එස්.පී, එම්.ඕ.පී ගන්න ප්‍රමාණවත්ද?
මතක තබා ගන්න අපේ රටට ලැබෙන්නේ බාල පොහොර. ගුණාත්මක භාවයෙන් පහළ මට්ටමක තියෙන පොහොර.කෘෂි රසායනත් එහෙමයි. මං බොරු කියනවා නම් දැන් යන්න එප්පාවල ටවුමට ගිහිල්ලා කඩ කීපයකට ගිහින් බලන්න එකම මිළකට විකුණනවාද? මොකක්ද ඇත්ත කථාව ගුණාත්මකභාවයෙන් පහළ රසායනික පොහොර ටික ලැබෙන්නේ, කෘෂි රසායනික ද්‍රව්‍ය ටික ලැබෙන්නේ ඒ විතරක් නෙමෙයි කිසිම මිළ පාලනයක් නෑ.
ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ ටික ලැබෙනවාද? බීජ වල මිළ කීයද? මේවා ඔක්කෝටම විසඳුම් දෙනවා කිව්වානේ, ගොවියා දිණවනවා කිව්වා. ගොවියා රජපුටුවේ තියනවා කිව්වා.ගොවියා ආරක්ෂා කරනවා කිව්වා. දැන් ගොවියා උන්නත් එකයි මළත් එකයි.මොකද මැතිවරණ 03 ක්ම ජයග්‍රහණය කරලා ඒ ගොල්ල ගිහිල්ලා තියෙනවා රජ පුටුවට.ඒ ගොල්ල ගිහිල්ලා තියෙනවා බලය තියෙන තැනට, ජනතාව අනාතයි. අද කෘෂි උපකරණ වල මිළ කීයද? ඔය සුනාමී, භූතයා කියලා තියෙනවා යන්ත්‍ර, ඒවායේ කුලිය කීයද, දැන් වගා කටයුතු කරගෙන යන කොට අලි මිනිස් ගැටුම, වගා හානී, දේපළ හානී, ජීවිත හානී.
ජනතාව විඳින දුක, කඳුල, වේදනාව අපි අවබෝධ කර ගෙන තිබෙනවා. අද පොඩ්ඩක් ගිහින් බලන්න ඔබේ ගමේ රෝහලෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ටික ලැබෙනවාද? රජයේ රෝහලේ බොහෝ තැන් වල ගියහම චිට් එක විතරයි හම්බෙන්නේ නොමිලේ, යන්න කියනවා ෆාමසියට, සල්ලි වලට ගන්න කියනවා බෙහෙත් ටික, එතකොට චිට් එක විතරක් නොමිලේ ලබා දෙන එකද නිදහස් සෞඛ්‍ය සේවාව කියන්නේ.චිට් එක නොමිලේ, බෙහෙත් ටික මුදලට ෆාමසියෙන් ඒකද නිදහස් සෞඛ්‍ය මම අහන්න කැමතියි.මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා ඔබතුමන්ලා ජීවත් වෙන මේ බල ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතියත්, අධ්‍යාපන පද්ධතියත් ඉහළටම ගොඩනගන්නට අපි විපක්ෂය හැටියට සමඟි ජන බලවේගය කැප වෙනවා.අපි ඒ යුතුකම ඉෂ්ඨ කරන්නට සූදානම්.
මේ ප්‍රදේශය සතු තවත් දැවැන්ත සම්පතක් තියෙනවා.පොස්පේට් ආයතනය, මේ ආයතනය නිසි කළමනාකරණයකට ලක් කරන්න ඕන, මේ පොස්පේට් ආයතනය දියුණු කරන්නට ඕන, රැක ගන්නට ඕන, ශක්තිමත් කරන්නට ඕන, අලුත් වැඩපිළිවෙළක් තුළින් නව තාක්ෂණය උපයෝගී කර ගෙන මේ පොස්පේට් ආයතනය රජරට පුරවරයටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයටත්, මුළු රටටත් වඩාත් දැවැන්ත සම්පතක් බවට පරිවර්තනය කරන්නට ඕන, ඒ සඳහා අවශ්‍යය උපරිම සහයෝගය ලබා දෙන්නට අපි උපරිම ඇප කැප වෙලා වැඩකරනවා.
දැන් බලන්න මේ රජය කරන්නට හදපු දේ, 6.8% කින් විදුලි බිල වැඩි කරන්න ගියා. මැතිවරණ වේදිකාවේ කිව්වේ 33% කින් විදුලි බිල අඩු කරනවා කියලා.මතකයිනේ දැන් ඉන්න ජනාධිපතිවරයාම කිව්වා 9000 බිල 6000 කරනවා, 3000 බිල 2000 කරනව ඒවා අමතකද? ඒවා මතක නැද්ද? ඒවා තමයි දුන්න පොරොන්දු.දැන් පොඩ්ඩක් හොයලා බලන්න ඇයි 6.8 % කින් විදුලි බිල වැඩි කරන්නේ.
අයි.එම්.එෆ් එකේ කොන්දේසී , අයි.එම්.එෆ් එකේ නියෝග, ඒක තමයි සත්‍යය.මේ ආණ්ඩුව බලයට පත් වුනේ අයි.එම්.එෆ් එකේ වහලෙක් වෙනවා කියලාද? මේ එප්පාවල ජනතාවගෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඡන්දය ගත්තේ අනේ අපිට වරමක් දෙන්න අපි අයි.එම්.එෆ් එකේ සුහච කීකරු ගෝලයෙක් වෙනවා කියලාද? හැම වේදිකාවකම කිව්වේ අයි.එම්.එෆ් එකත් එක්ක ඇතිකරගෙන තියෙන ගිවිසුම මහා භයානකයි ඒක වෙනස් කර ගන්නවා කිව්වා.
අපිත් කිව්වා වෙනස් කර ගන්නවා කියලා, නමුත් අපියි, වර්ථමාන රජයයි අතර වෙනස්කම මේක අපි කිව්වා නම් අනිවාර්යයෙන් ඒක කරනවා, මොකද ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක අපිට සම්බන්ධතා ඇති කර ගෙන රටට වාසිදායක දේවල් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා.ඒ කණ්ඩායම අපි සතුව සිටිනවා, මේ රජය කලේ ජනාධිපතිකමත් ලැබුනා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් 159 කුත් ලැබුණා,
බලයට ආව හැටියේ මොකක්ද කිව්වේ අයි.එම්.එෆ් ගිවිසුම් වෙනස් කරන්නේ නෑ, අයි.එම්.එෆ් ගිවිසුම කිව්ව විදිහටම තමයි අපි වැඩකටයුතු කරන්නේ.ජනතාව ඇන්දෙව්වා, රැවැට්ටුවා නේද? 35 000 ක් උපාධිධාරීන් ඉන්නවා, රැකියා නැතිව, 16 000 ක් ඉන්නවා ගුරු සංවර්ධන නිළධාරීන් කොවිඩ් කාලයේ බොහෝම අමාරුවෙන් අපේ අධ්‍යාපනය සුරක්ෂා කරපු දූ දරුවන්, සහෝදර සහෝදරියන්, ගුරු අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයේ සංවර්ධන නිළධාරීන් , ඒ අයට ගුරු පත්වීම් දෙන්නේ නෑ, ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ. 35 000 ක් උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා කිව්වා ඒක ලබාදෙන්නෙත් නෑ.
මොකක්ද හේතුව අයි.එම්.එෆ් නියෝග.අයි.එම්.එෆ් කොන්දේසි දැන් .රට සුරකින ගොවියා රකින ධීවර, කම්කරු, සාමාන්‍යය ජනතාව, දුප්පත් ජනතාව රකිනවා කියපු ආණ්ඩුව දැන් අයි.එම්.එෆ් එක කියන තාලයට නටනවා.තමන්ගේ බොරුව හෙළිදරව් වෙමින් පවතිනවා.රැවටිල්ල, ඇන්දවිල්ල , මංමුලාව.යැයි පැවසීය.


