අතුරු ප්‍රවාහන සේවා සඳහා විශේෂ නියාමන වැඩසටහනක්


මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විහේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික වශයෙන් වැදගත් තලයකට ගෙන ඒමේ අරමුණෙන් විශේෂ නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී ප්‍රවාහන අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා සහ සමස්ථයක් ලෙස ප්‍රවාහන අමාත්‍යංශය මේ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් සහ මගපෙන්වීමක් නිරන්තරයෙන් ලබාදෙන බවද සඳහන් කළේය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බලාපොරොත්තු වන්නේ මෙහි පාර්ශවකරුවන් වන රථ හිමියා, ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන මගීන්, යම් අවස්ථාවල වාහනයේ සහායකයා ලෙස ක්‍රියාත්මක වන්නා, ආයතන වශයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ප්‍රවාහන අමාත්‍යංශය සහ සමස්ථයක් ලෙස රටේ මගී ජනතාව මෙහි සක්‍රීය දායකයන් බවට පත් කිරීමත්, සියලු දෙනාගේ සතුට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් බවට මෙය පත් කිරීමත් මෙහි අරමුණ බවද වැඩිදුරටත් පැවසුවේය.

දැනට මෙම ක්ෂේත්‍රයේ නියැලෙන කිසියම් හෝ පාර්ශවයක් අගතියට පත්කිරීම එහි අරමුණ නොවන බවද පැවසූ ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා එමනිසා ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිරන්තරයෙන්ම මොවුන් සමග මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූ බවද සදහන් කළේය.

මෙම සාකච්ඡාවල අරමුණ වූයේ අතුරු ප්‍රවාහන සේවා ක්‍රියාකරුවන්ගේ පාර්ශවයෙන් ඔවුන් ජාතික ප්‍රවාහන නියාමන යාන්ත්‍රණයකට යටත් කරන්නේ කෙසේද යන්න මෙහිදී අවධානයට ලක් වන අතර ඔවුන් යම්කිසි කේන්ද්‍රගත වැඩපිළිවෙලකට යටත් කරගැනීමටද අපේක්ෂිත බව පැවසුවේය. මෙමගින් ඔවුන්ට ප්‍රතිලාභ රැසක් අත්වන බව පෙන්වාදුන්  ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතුරු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන්ටද මින් ප්‍රතිලාභ රැසක් අත්වන බව අවධාරණය කළේය.

ප්‍රවාහනයේ ආරක්ෂාවට අවශ්‍ය ඉලක්ක සපුරාගත හොත් ජාතික ආර්ථිකයට ප්‍රවාහනයෙන් ලැබෙන නිසි පංගුව ලබාදීම වෙනුවෙන් අපගේ කාර්යයභාරය ඉටුකළා වෙනවා යැයිද පැවසුවේය. මගියාට ඉතා ඉහළ ගුණාත්මක ප්‍රවාහනයක් ලබාදීමත්, ඔවුන්ට ඔරොත්තු දෙන මිලකට එය ලබාදීමත්, ඔවුන්ට අවශ්‍ය වෙලාවට එය ලබාදීමත් වැදගත් බව පෙන්වාදුන් සභාපතිවරයා මෙහිදී විශ්වාසන වැදගත් වන බවද එම විශ්වාසය තුළ මිල සහ කාර්යක්ෂමතාවය ගැබ්වී ඇතැයිද පෙන්වා දුන්නේය.

මගියාට මෙම අතුරු ප්‍රවාහන සේවාව ඉතා විශ්වාසව සහ ඔවුන්ට ඔරොත්තු දෙන මිලකට ලබාදීමට රජය මැදිහත් වන බවද එම ක්‍රියාවලියට ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම සහ කොමිෂන් සභාවේ පනතෙන් හිමිවන බලය තුළ ක්‍රියාත්මක වන බවද පැවසුවේය.



Recommended Articles