අඩුවයසින් ළමා ගැබ් ගැනීම් වැඩිම කතරගමයි


කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට වඩා මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් භාවිත කරන පිරිසක් සිටින, වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හුවමාරුවන ප්‍රදේශයක් මෙන්ම අඩු වයසින් ගැබ් ගැනීම් හා මව පියා හැරගිය ළමුන් බහුලව සිටින ප්‍රදේශයක් බවට හඳුනාගෙන ඇතයි  කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් කුලතිලක මහතා පවසයි.

 ඔහු මේ බව පැවසුවේ පින්බර කතරගම පොසොන් කලාපය 2025 නමින් සංවිධානය කර ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පෙරේදා 26දා දහවල් 2.00 ට පැවැති රැස්වීමේදීය.

 “අපට අයත් බලප්‍රදේශයේ වසම් පහක් තිබෙනවා. එහි අනාරක්ෂිත ළමුන් එකසිය හතළිස් හත් දෙනකු සොයාගෙන ලේඛනගත කරගෙන තිබෙනවා. ඉන් මව හෝ පියා අහිමි ළමුන් සහ මේ දෙදෙනාම අහිමි ළමුන් ඉන්නවා. ඉන් බොහෝ ළමුන් පාසල් යා යුතු කාලයේදී පාසලට නොගිය ළමුන්. අකුරු ලිවීමට කියවීමට නොහැකි ළමුන් මේ අතර වැඩි පිරිසක් ඉන්නවා. මේ ළමුන් හැකි ඉක්මනින් මේ අවදානම් තත්ත්වයෙන් මුදවා ගන්න ක්‍රමවේදයක් සැලසුම් කරන්න ඕනෑ. ඒ සඳහා අද පැමිණ සිටින සියලුම දෙනා උදව් කරන්න.

ඒ වගේම මේ ළමුන් 147 දෙනාම ඉන්න ස්ථානවලින් අරගෙන සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර අවශ්‍ය සියලු රැකවරණය ලබාදිය යුතු යි.”

පොසොන් තොරණ සංවිධානය කිරීම සඳහා කතරගම සහන සමාජය පිහිටුවා එහි අනුශාසකත්වය හොබවන කතරගම අභිනවාරාම විහාරාධිපති කපුගම සරණ තිස්ස හිමියන් මෙම අවස්ථාවට එක්වෙමින් මෙම අවදානම් ළමුන් 147 දෙනාගෙන් එක් අයකු වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සොයා බලා ඉටුකිරීමට කැමති බව සඳහන් කළහ.  ළමුන් මෙම තත්ත්වයෙන් මුදවා නොගතහොත් කතරගමට තවත් ගංජා,කුඩු බොන හා අයිස් , හොරකම් වැනි වැරදිවලට පෙලඹිය හැකි සමාජයක් ඉදිරියේදී බිහිවීමට ඉඩ තිබෙන බවද උන්වහන්සේ පෙන්වාදුන්හ.එම නිසා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් ඒ සඳහා අවශ්‍ය ආයතන සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ සහයෝගය ලබාගෙන ඉක්මනින්ම විසඳුමක් සොයාගෙන ක්‍රියාවට නැංවිය යුතු බව  එහිමියෝ අවධාරණය කළහ.

 මෙම රැස්වීම සඳහා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමායෝජක හිමියන් , කතරගම පොලීසියේ ස්ථානාධිපති වෙනුවෙන් සී. අයි. උපුල් , යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය නියෝජනය කරමින් උසස් නීලධාරීන්,කතරගම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

සෙල්ලකතරගම- අසිත වීරසිංහ/ කතරගම- ආරියපාල රත්නායක

 



Recommended Articles