අජිත්ගේ සභාපතිධුරය මරික්කාර්ට


යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා තේරී පත්විය. 

උක්ත කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව නව සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා තේරී පත් වූ අතර ඒ මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.

අභිනව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යාංශ 3ක් යටතේ පවතින ආයතන 50ක් පමණ ඇතුළත් වන බවයි. මේ නිසා කාරක සභාවේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාමට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය බලාපෙරොත්තු වන බව ද, එසේම අවශ්‍ය ලෙස අනු කමිටු පත් කරගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කමිටුවට පෙන්වා දුන්නේ මෙම කාරක සභාව යටතේ විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත බවත්, ඉදිරියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම්කොට ඇති බවත්, ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉක්මනින් කමිටුවේදී සාකච්ඡා කිරීම වැදගත් බවත් ය. 

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, සහ ශාන්ත පත්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.
 



Recommended Articles