අකුරණ තවදුරටත් අවදානම්


මධ්‍යම පළාතේ තවදුරටත් වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අකුරණ නගරය ආශ්‍රිත ප්‍රදේශය තවදුරටත් අවදානම් තත්වයක පවතින බැවින් සියලු දෙනා දින 14ක් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් මෙම  උපදෙස් ලබා දී ඇති අතර   අකුරණ කොට්ඨාසයේ  දිනෙන් දින ඉහළ යමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඉදිරි දින 14ක කාලය තුල සියලු දෙනා අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිට නොවි ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් පිටතට යාමට අවශ්‍ය නම් කොවිඩ් මර්දන කමිටුව මගින් ඒ ඒ ගම්වලට පත් කර ඇති ස්වේච්ඡා නිලධාරින් දැනුවත් කර උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් අද 29 වනදාත් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා විමත් සමඟ වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 290  දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.

කෙසේ නමුත් දැනට කොවිඩ්  ආසාදිතයින්  වාර්තා නොවන  අකුරණ කොට්ඨාසයේ ගම්වල ජනතාව නගරයට පැමිණිමට බියක් දක්වන ස්වරූපයක් දක්නට ලැබෙන අතර ඒ නිසාම ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඉටු කර ගැනීමත් ගැටළු සහගත වී ඇති බවත් ඔවුහූ කියති.

මහනුවර මොහොමඩ් ආසික්



Recommended Articles