˜‍ආරුගම්බේ˜ නිෂ්පාදනයට ඊශ්‍රායල ජාතිකයින් 20ක් එයි


ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ,  " ආරුගම්බේ " නැමති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා  ඊයේ (21දා)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .
 
මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ .
 
මෙමගින් ශ්‍රී ලංකාවේ භෞතික සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
 
විශේෂයෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම, ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත් , එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට , එම රටවල සිනමාකරුවන් , සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම  මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
 
මෙම ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් පිරිස එළඹෙන මැයි මස 22 දා දක්වා මෙරට රැඳී සිටිමින් මෙම සිනමා පටයේ රූ ගත කිරීම් සිදු කිරීමට නියමිතය .
මෙම සිනමා පටයේ තවත් කොටසක් ඊශ්‍රායලය තුළ ද රූ ගත කිරීමට නියමිතය . 
 
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චමින්ද මුණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික සිනමාකරුවන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
 
 
 


Recommended Articles