LTL වෙත කෝප් කමිටුවේ අප්‍රසාදය


ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම කෝප් කමිටුවට කැඳවයි

LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා

රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි

2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට කටයුතු කර ඇති බවත් කමිටුව පෙන්වා දෙයි

නිශ්චිත පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම පිළිබඳවත් කමිටුවේ අප්‍රසාදය

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ විමර්ශනයේ දිගුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් හිමි ආයතනයක් වන LTL හෝල්ඩිග්ස් ඇතුළු එහි පරිපාලිත සමාගම් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවන ලදී.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.10.24 දින රැස්වූ අවස්ථාවේදී ය.

මෙරට විදුලිබල ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් දේශීයව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා 1980 වසරේදී ලංකා ට්‍රාන්ස්ෆෝමස් සමාගම ලෙස විදුලිබල මණ්ඩලයේ 70%ක කොටස් සහ ස්කොට්ලන්ත සමාගමක 30% ක කොටස් ප්‍රාග්ධනයක් සහිතව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරී ආයතනයක් ලෙස ස්ථාපිත කළ බව එම සමාගමේ නිලධාරීහු පැවසූහ. ඉන් අනතුරුව 1986 වසරේදී 30% කොටස් ස්කොට්ලන්ත සමාගම විසින් නෝර්වේ සමාගමකට විකුණා ඇති බවත් මෙහිදී අනාවරණය විය. අවස්ථා කිහිපයකදී මෙම සමාගමෙන් පරිපාලිත ආයතන ලෙස LTL ගැල්වනයිසින්, LTL ස්ටීල් ෆැබ්‍රිකේෂන් නම් වලින් තවත් පරිපාලිත සමාගම් පිහිටුවන ලද අතර පෞද්ගලික අංශයෙන් විදුලිය සපයන ලක්දනවි සමාගම 1996 වසරේදී ස්ථාපිත කර ඇත. අනතුරුව 2008 වසරේදී LTL හෝල්ඩිංග් සමාගම ලෙස ප්‍රධාන සමාගමේ නාමය වෙනස් කරන අතර අනෙකුත් පරිපාලිත සමාගම් වෙනම සමාගම් බවට පත් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ LTL හොල්ඩිංග් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ඔහු විදුලිබල මණ්ඩලයෙන් ඉවත්වූ වසර සහ LTLආයතනය සමග සම්බන්ධවූ වසර කමිටුව විසින් විමසූ අතර එය නිශ්චිතව පැවසීමට අපොහොසත් වූ බැවින් ඒ පිළිබඳව කාරක සභාවේ බලවත් අප්‍රසාදය පළ විය. ඒ අනුව එම නිශ්චිත තොරතුරු කඩිනමින් දැනුම්දෙන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. LTL සමාගමේ නිර්මාතෘවරයා සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා විදුලිබල මණ්ඩලයේ සේවය කළ නිලධාරීන් වීම හරහා ලබැඳියාවන් අතර ගැටුම (Conflict of interest) ඇතිවීම වැළැක්විය නොහැකි බවත්, විදුලිය මිලදී ගැනීම, පුනර්ජනනීය බලශක්ති හදුන්වාදීම ඇතුළු තීරණ සඳහා ඒ හරහා අහිතකර බලපෑම් සිදුවන බවට චෝදනා එල්ල වන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය.

2001 වසරේදී විදුලිබල මණ්ඩලය ඇතුළු සේවකයන් වෙනුවෙන් 10% ක භාරයක් සඳහා කොටස් වෙන්කර ඇති බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලයේ කොටස් 63% දක්වා අඩුවී ඇති බවත් එහිදී අනාවරණය විය. එසේම මෙම භාරය ‍2017 වසරේදී ටෙක්ප්‍රො ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමින් වෙනම සමාගමක් බවට පත්කොට ඇති බවත් ඇතැම් හවුල්කරුවෙකුට මිලියන නවයකට ආසන්න ලාභාංශ ලබා දුන්නද ඒ වන තෙක් සේවකයන්ට අදාළ ලාභාංශ නිසි පරිදි ගෙවා නොමැති බවට පළ වන වාර්තා පිළිබඳවත් කාරක සභාව විමසා සිටියේය . එය එසේ නොවන බවත් නීතිමය තත්ත්වය අනුව නිසිපරිදි කටයුතු කර ඇති බවත් එහිදි සමාගමේ නිලධාරීන් පැවසූහ. කෙසේ වෙතත් ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහිත වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් කමිටුව විසින් LTL සමාගමට දැනුම් දෙන ලදී.

එසේම 2005 වසරේදී නෝර්වේ සමාගමේ කොටස් එම සමාගම විසින් අලෙවි කොට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව එම කොටස් මිලදී ගැනීම සඳහා LTL ESOT නමින් තවත් සමාගමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා LTL ආයතනයෙන් ණයක් ද ගෙන ඇති බවත් හෙළිවිය. 2018 වසරේදී නැවත එම සමාගම පෙරදිව් නමින් සමාගමක් බවට පත් කළ බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

2006 වසරේදී LTL මගින් යුගදනවි බලාගාරය ආරම්භ කිරීම සදහා වෙස්ට් කෝස්ට් නමින් තවත් සමාගමක් පිහිටුවා ඇති අතර විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය එම සමාගමට රු. බිලියන 79.4 ක් ණයවී ඇති බවත් හෙළි විය. ඉන් රු. බිලියන 26ක වටිනාකමක් ආවරණය කිරීම සදහා LTL සමාගමේ එවකට ලංකා විදුලිබල මණ්ඩලය සතු 63% ක කොටස්වලින් 28%ක කොටස් වෙස්ට් කෝස්ට් සමාගමට ලබා දීමට කැබිනට් අනුමතියක් යටතේ කටයුතු කර ඇති බවත් ඒ අනුව LTL සමාගම සතු ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් ප්‍රමාණය 35% දක්වා අඩුවීම සිදු ව ඇති බවත් මෙහිදී හෙළි විය.

මේ අනුව LTL සමා‍ගමේ කොටස් බෙදී යාම; 35% විදුලි බල මණ්ඩලය, 28%ක් වෙස්ට් කෝස්ට්, 27%ක් පෙරදිව් සහ 10%ක් ටෙක්ප්‍රෝ ලෙස පවතින බව මෙහිදී අනාවරණය විය. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලංකා විදුලි මණ්ඩල මණ්ඩලයට හිමිව තිබූ 70% ක අයිතිය, 35% දක්වා අඩුවීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් සිදුව ඇති බව පෙනීයන බවයි.

එසේම විගණනයට ඉඩ ලබා නොදීම පිළිබඳව ද කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රජයේ විගණනය සිදුකිරීමට 2015 වසරේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට වසර ගණනක් තිස්සේ මෙම සමාගම කටයුතු කර ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මහජන මුදලින් ආරම්භ කළ මෙම සමාගමට රජයේ විගණනයෙන් ඉවත්විය නොහැකි බවත් ඒ අනුව රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.

කාරක සභා සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝ ගනේෂන්, නීතිඥ සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චමින්ද වි‍ජේසිරි, ඩී.වී චානක, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.



Recommended Articles