2025 පළමු මාස 4ට අපනයන ආදායම ඩො.බි. 5.5ක්


2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරමින්, මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇ.ඩො.මිලියන 5,583.25ක් ලෙස 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.9ක වර්ධනයක් අත්කරගෙන තිබේ. එහිදී, 2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇ.ඩො.මිලියන 1,292.63ක් ලෙස 2024 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 8.74ක වාර්ෂික වර්ධනයක් පෙන්වා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, "මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට වඩාත් සමීපව එකතු වෙමින් ඇති ආකාරය සහ අපනයන තරඟකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයයි. එසේම, අපගේ අපනයකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළෙඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බවද මේ තුළින් පෙන්වා දී තිබෙනවා." යැයි පවසා සිටියේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත අනුව, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් භාණ්ඩ අපනයනය වාර්ෂිකව සියයට 12.05කින් වර්ධනය වී ඇ.ඩො.මිලියන 983.33ක් දක්වා ළඟා වී ඇත. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වූ දත්තද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ භාණ්ඩ අපනයන මුළුමනින්ම ඇ.ඩො.මිලියන 4,334.22ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.86ක වර්ධනයකි.

මීට අමතරව, සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වසරේ පළමු මාස හතර තුළ සේවා අපනයන ආදායම සියයට 7.06කින් වර්ධනය වී ඇ.ඩො.මිලියන 1,189.63ක් දක්වා ළඟා වී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එහි දායකත්වයත් පැහැදිලිව පෙන්වයි. කෙසේ වෙතත්, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් සේවා අපනයන ආදායම ඇ.ඩො.මිලියන 309.30ක් ලෙස සටහන් වුවද, එය 2024 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 0.59ක පසුබෑමක් පෙන්වා තිබේ.

 



Recommended Articles