ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 20 ක් පමණ ඈත මුහුදේ බෝට්ටුවක් තුළ මළසිරුරු කිහිපයක් ඇතැයි මෙරට ධීවරයන් පිරිසකගෙන් ලද තොරතුරක් මත නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය එක්ව ඊයේ (06දා) රාත්‍රි‘යේදී එම මුහුදු තීරය පරීක්ෂා කිරීමේ කටයුතුවල යෙදුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ඊයේ (06දා) සවස 5.30 ට පමණ මෙම තොරතුර ලැබුණු පසු ඩෝරා යාත්‍රාවක් මගින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකළ බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව පෙරේදා (05දා) සහ ඉකුත් 04 වැනිදාද නිලාවේලි සහ තලෙයිමන්නාරම් මුහුදු වෙරළවල තිබී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගේ මළසිරුරු හමු වී තිබුණු බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
නිලාවේලි මුහුදේ තිබී හමු වූ මෘත ශරීරය ආසන්නයේ තිබී ඉන්දියාවේ චෙන්නායිහි පදිංචිකරුවෙකුගේ ජාතික හැඳුනුම්පතක් ලැබී තිබූ බව පැවසූ ඒ මහතා මියගිය පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බවට සැකකරන බව සඳහන් කළේය.
තලෙයිමන්නාරම් මුහුදේ තිබී හමු වූ පුද්ගල මළසිරුරේ අතක පච්චයක් කොටා තිබුණු බවත්, එම පච්චා සලකුණ අනුව ඔහු ඉන්දීය ජාතිකයෙකු බවට සැකකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
මෙම මෘත ශරීර දෙක සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නද එහි නිලධාරීන් ඊයේ සවස් වනතුරුත් එහි නොපැමිණි බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
තලෙයිමන්නාරම් මුහුදේ තිබී සොයාගත් මළසිරුර මන්නාරම රෝහලේද, නිලාවේලි මුහුදු තීරයේ තිබී සොයාගත් මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේද තබා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධීන් අතර සම්බන්ධයක් තිබේදැයි මෙතෙක් අනාවරණය වී නැතැයිද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
මුහුදේ බෝට්ටුවක මළසිරුරු
Recommended Articles