ත්‍රස්තවාදී කළු අශ්වයින්ට ඩිජිටල් පිටිය විවෘත නොකළ යුතුයි - මෝදි


එක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්‍ෂණය ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කරමින් පැවසීය.

අද (23 දා) නවදිල්ලි නුවර පුල්මන් හෝටලයේ එරොසිටි හි දී පැවති සමාරම්භක උත්සවයේ දී මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාව ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ දූෂණ මැඬලීමට හා නාස්තිකාර වියදම් අවම කිරීමට ද, ජනතා ජීවන තත්වය ඉහළ නැංවීමට ද ක්‍රියා කර ඇති බව ය.

සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කිරීමේ උළෙලට විශේෂ ආරාධිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බවය.

ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මේ නිසාම මානව සමාජයට අලුත් අභියෝගයන් ද එල්ල වෙමින් පවතින බවය.

මානව නිදහස සහ අයිතීන්, පුද්ගලික නිදහස ආදී ක්ෂේත්‍ර‍යන් වෙත මේ අභියෝගයන් වැඩි වැඩියෙන් සයිබර් අවකාශය හරහා එල්ල වෙමින් පවතින බැවින් සයිබර් ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

නිදහසේ තොරතුරු ගලා ඒම සහ පුද්ගලික නිදහස අතර සමබරතාවක් ඇති කරලීම උදෙසා සයිබර් අවකාශයේ යහ පාලනයක් ක්‍රියාත්මක විය යුතු බව තමන්ගේ විශ්වාසය බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

එමගින් අන්තර්ජාල මධ්‍යස්ථාභාවය ඇති කර ගැනීම ඔස්සේ සයිබර් අවකාශයේ වර්ධනාත්මක මෙන්ම විප්ලවීය පියවර ගත හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

ලෝකයේ රටවල් 135 ක් නියෝජනය කරමින් දස දහසකට අධික නියෝජිතයන් පිරිසක් මෙවර සමුළුවට සහභාගී වන අතර, ලොව පුරා ස්ථාන 2800 ක සිට විශාල පිරිසක් සජීවීව සමුළුව සමග සම්බන්ධතා පවත්වති.

02 (3) copy 04 (1) copy 05 (2) copy 06 (1) copy

 



Recommended Articles