ජනපති මෛත්‍රීට මහින්දගෙන් චෝදනාවක්


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය දිනවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවාසිදායක ප්‍රකාශයක් කිරීමෙන් හා සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරුන් දෙදෙනා එකවර ඉවත් කිරීමෙන් එය කළ බවද හිටපු ජනපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අද (14දා) හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

‘පළාත් පාලන ඡන්දයක් යනු රටේ දේශපාලන බලය වෙනස් වන ඡන්දයක් නොවුවත්, මේ ඡන්දයට සුවිශේෂ වැදගත්කමක් ආරූඪ වී ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමට ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට ලැබෙන පළමු අවස්ථාව වන නිසාය.

මීට කලින් ඊනියා යහපාලකයන් යටතේ පවත්වන ලද ඡන්දය වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයයි. ජනාධිපතිවරයා ඒ ඡන්දයෙන් එජාපය දිනවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද ව්‍යාපාරය අස්ථාවර  කිරීමට ඡන්දයට දින කිහිපයක් තිබියදී එජනිසයට අවාසිදායක ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහ ලේකම්වරුන් දෙදෙනාම එකවර නෙරපා හැරීම ඇතුළු ක්‍රියාමාර්ගයන් ගණනාවක් ගැනීම තුළිනි.

එමඟින් ලංකාවටම යවනු ලැබූ  පණිවිඩය වූයේ හැන්ද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ නිසා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනත් දිනන්නේ එජාපය බවයි .ශ්‍රිලනිපයේ වත්මන් නායකයා පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙන් එජාපය දිනවූයේ ඒ ආකාරයටය.

මේ වතාවේ ඒකාබද්ධ විපක්‍ෂය වෙනම ලකුණකින්, වෙනම සන්ධානයකින් මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්නෙ ඒ නිසාය. ඒකාබද්ධ විපක්‍ෂයේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු විරෝධී ජනතාවට දේශපාලන විකල්පයක් සපයා දීමයි.’

0a6112ec7a22994bfb997fcc86e77423_XL



Recommended Articles