කැබ්නට් මණ්ඩලයේදී ඇවන්ට් ගාඩ් පුපුරයි


ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව ආණ්ඩුව තුළ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේය. 
තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (09දා) යවනු ලැබූ අතර ජනාධිපති වරයා විසින් අදාළ ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවන අයුරින් ඇමතිවරුන් කිහිපදෙනෙකු කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවී තිබීමෙන් මේ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය තීරණවලට එළැඹීම සඳහා ඊයේ  (09දා) දිනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ද පැවැත්විණි.  එම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව වාද විවාද සහිතව දීර්ඝව සාකච්ඡා කෙරිණි.
මෙම කැබිනට් රැස්වීම සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍ය තිලක් මාරපන මහතා පැමිණ නොසිටි අතර එහෙත් ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන  බවට එහිදී ප්‍රකාශ විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තිලක් මාරපන මහතාට  යෝජනා කර ඇත්තේ ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් මතුවී තිබෙන අර්බුදය නිසි ලෙස  විසඳා ගන්නා තුරු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම වඩාත් සුදුසු බවයි.
ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් කැඳවීමට තීරණය කළ බව රජයේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා %අද^ට පැවසීය.
ඊයේ (09දා) රැස්වූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවත්, ඊට අදාළ ඊළඟ රැස්වීම එළඹෙන බදාදා (11දා) සවස 4.00 ට පවත්වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මෙම විශේෂ කමිටුව සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, නීතිපතිවරයා සහ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඇමතිවරුන් ඇතුළත් වන බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම රැස්වීම සඳහා කවුරුන් සහභාගී කරවන්නේදැයි තීරණය කරනු ඇතැයිද හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
මේ අතර,  නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා ඊයේ (09දා) උදෑසන සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඇවන්ට් ගාඩ් නැව් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී තමා අමාත්‍ය ධුරයේ රැඳී සිටියහොත් එය නිසි ලෙස සිදු නොවේ යැයි මතයක් ඇති විය හැකි නිසා තමන් දැරූ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඇවන්ට් ගාඩ් ආයතනය කටයුතු කර තිබෙන්නේ නීත්‍යනුකූල ආකාරයට බවත්, ඒ පිළිබඳව නීතිපතිවරයා පවා පෙන්වා දී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව තමන් ප්‍රකාශයක් සිදුකළද ඇවන්ට් ගාඩ් සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇතැයිද තිලක් මාරපන මහතා සඳහන් කළේය.
ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තිලක් මාරපන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා අමාත්‍ය ධුරයේ සිටින නිසා පරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදු නොවේ යැයි රට තුළ මතයක් ඇති විය හැකි බැවින් ආණ්ඩුව සහ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව සිතා මෙම තීරණය ගත් බවයි.
එසේ නොමැතිව තම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සහයෝගය නොදක්වන බවට සහ තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට ජනතා විමුක්ති පෙරමුණ පවසන කතාවට බිය වී මෙම තීරණය නොගත් බවද හිටපු අමාත්‍යවරයා පවසා සිටියේය.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විදේශගත වීම වැළැක්වීමට සහ බැංකු ගිණුම් තහනම් කිරීමට සැලසුම් කළ අවස්ථාවේ තමන් ඇවන්ට් ගාඩ් සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥයෙකු වශයෙන් බවත්, තමාට අමාත්‍ය ධුරය ලැබෙන විට එම සිද්ධිය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබූ බවත් ඒ මහතා පවසා සිටියේය. 
ස්විස් ප්‍රදේශයට යන නැව් සඳහා ආරක්ෂාව සැපයීමේ කටයුතු වෙනුවෙන් නිකුත් කරන ආයුධ ශ්‍රී ලංකා රජය සතු ආයුධ බවත්, එම ක්‍රියාදාමය සිදුවන්නේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. 
මේ නිසා අදාළ නැව් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඕනෑම නියෝජිතයෙකුට නැවට ඇතුළත් වී පරීක්ෂණ සිදුකළ හැකි බවද තිලක් මාරපන මහතා සඳහන් කළේය.
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවත් තමන් මන්ත්‍රී ධුරයේ දිගටම රැඳී සිටින බවත්, ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වූ පසු සිදු වී තිබෙන්නේ කුමක්ද යන්න සියලුම දෙනාට දැනගත හැකි බවත් හෙතෙම පවසා සිටියේය. 
කෙසේ වෙතත් තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සඳහා ඊයේ රාත්‍රී වනතුරුත් කිසිවෙක් නම් නොකර තිබිණි. 



Recommended Articles