ඒකාබද්ධයට ගෝල්ෆේස් දුන් හැටි සජිත් හෙළි කරයි


ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා ගොල්ෆෙස් පිටිය ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමෙන පසුව බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂයට  අවශ්‍ය නොමැති බවත් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ( 30දා) අරණායකදි පැවැසීය. එසේම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය වෙන්ව තරග කළත් අවසානයේදී පක්ෂ දෙකම එක්ව ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

"දැන් සමහර අය කියනවා ගාලු මෝදර පිටිය ඒකාබද්ධ කණ්ඩායමට දුන්නේ යු. ඇන්. පි. එක කියලා. එහෙම දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නලු.  මේ කතාව කුහක කතාවක්. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාටවත් අපිටවත් කිසිම උවමනාවක් නැහැ අපේ මුලිඛත්වයෙන් පත් කරපු ජනාධිපතිතුමාව දුර්වල කරන්න.

ජනාධිපතිතුමාගේ පක්ෂය කැලි වලට කඩන්න අපිට වුවමනාවක් නැහැ. මෙ රටේ කාලයක් තිබුණා පක්ෂ කෑලි කෑලි වලට කඩලා බෙදලා විනාශ කරලා රජ වුන යුගයක්. ඒ තමයි හිටපු ජනාධිපතිතුමාගේ යුගය පක්ෂ කියක් විනාශ කරාද ?

ඡුන්දයක් ආපුවාහම අපි යනවා යු. ඇන්. පි. එක දිනවන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න. අවසානයේ රට ගොඩ නගන වැඩ පිළිවලේදි දෙගොල්ලම එකට එකතුවෙලා යනවා. ගෝල්ෆෙස් පිටිය ඒකාබද්ධ විපක්ෂයට ලබා දුන්නේ ගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා එකට කතා කරලා.

අද ජාතික ආණ්ඩුවක් තියෙන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා එක ගමනක් යන්නේ. දෙන්නම රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ලොක්කෝ දෙන්නෙක්. සමගියෙන් සමානත්වයෙන් එකමුතුවෙන් අපි යන්නේ. අපි අමාරු ගමනක් යන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න. හැබැයි අර පෙරේතකමට රාජ්‍ය බලය බලාපොරොත්තුවෙන් සිටින ඒකාබද්ධ ගිජු ලිහිණියන්ට ලොකු ආශාවක් තියෙනවා මෛත‍්‍රී - රනිල් දේශපාල විවාහය කඩන්න. මෙම විවාහය කලේ හොඳට නැකත් බලලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දේශපාල දිගය ඉදිරියටත් ක‍්‍රියාත්මක වෙනවා. මේ දේශපාල දිගය රටට වාසියි."

සමන් විජය බණ්ඩාර



Recommended Articles