කොත්මලේ  යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන  සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. ඉපැරණි සිදුවීම් රැසකින් පොහොසත් වූ කොත්මලේ පුරවරය මනරම්  කඳු රැසකින් වට වූ ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම සුන්දර  භූමි භාගයකින් සැදුම්ලත් අව්‍යාජ ගැමියන් ජීවත් වන ඵෙතිහාසික ගම්මාන රැසකින් සමන්විත ප්‍රදේශයකි.  

එවන් අසිරිමත් පුරවරයක පිහිටි රණමුනේ පිහිල්ල යනු කොත්මලේ, මාවෙල නගරය සමීපයේ පිහිටි මෙරට වටිනාකමකින් යුත් තවත් එක් සුවිශේෂිත  ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සංස්කෘතික උරුමයේ තවත් එක් සුවිශේෂිත කඩ ඉමක් ලෙස රණමුනේ පිහිල්ල හැදින්විය හැක. මෙම ඉපැරණි පිහිල්ල දුටුගැමුණු රජුගේ පාලන සමය වන එනම් ක්‍රිස්තු පූර්ව 137ත්- 161ත්  අතර කාල සීමාවටත් පෙර සිට පැවත එන ඵෙතිහාසික ජල පිහිල්ලක් ලෙස හැදින්වේ.

ස්වාභාවික උල්පතකින් නිර්මාණය වී ඇති රණමුනේ  පිහිල්ල වසරේ සෑම දිනකම එක සේ දැඩි සීතලකින් යුත් අතිශය පිරිසිදු  ජලය ගලා බසිනා  අපූර්වතම පිහිල්ලකි. ඔීනෑම තද නියඟයක දී වුව මෙහි ජලය සිඳී යාමක්  සිදු නොවන බව මාවෙල වැසියෝ කියති. දිය නෑම හා රෙදි සේදීම සඳහා මාවෙල අවට ගම් රැසක ගම් වැසියෝ මෙම පිහිල්ල භාවිතා කරනු ලබයි. එහි දිය නෑම උදෙසා ගැහැණු අය හට එක් පිහිල්ලක් ද , පිරිමි පුද්ගලයන් සඳහා තවත් පිහිල්ලක් ද ලෙස දිය නෑම උදෙසා  ජල පිහිලි දෙකක් නිර්මාණය කොට තිබේ. රණමුනේ ස්වාභාවික ජල උල්පත සහිත පිහිල්ල විශාල කළු ගල් කුට්ටිවලින් ඉදි කොට තිබේ.

පැරණි ලාංකේය ඉදිකිරීම් ශිල්පීන්ගේ නිර්මාණශීලී හැකියාව මනාව ප්‍රදර්ශනය වන  මෙරට පොහොසත් සංස්කෘතික තලයේ තවත් එක් ජීවමාන සාක්ෂියක් යයි කිවහොත් එය වඩාත්  නිවරදිය. දිය පිහිලි ආසන්නයේ පැරණි අම්බලමක් පවතී. කුලුණු හතරක ආධාරයෙන් මැටි උළු සෙවලි කරන ලද වහලයකින් අම්බලම නිර්මාණය කොට තිබේ. එම අම්බලම දිය නෑමට පැමිණෙන පුද්ගලයන් හට ඇදුම් මාරු කර ගැනීමට, රෙදි තබා ගැනීමට මෙන්ම විවේකය ගැනීම  උදෙසා සකස් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. අතීතයේදී දිය නෑම සඳහා භාවිතා කරන ලද්දේ වර්තමානයේ සේ සබන් නොව විවිධ ඖෂධ පැළෑටිවලින් සකස් කරන ලද බෙහෙත් වර්ගයයි. මෙම අම්බලම අසල කළු ගලක් මත වලවල් දෙකක් නිර්මාණය වී තිබේ. එම වලවල් දෙක සකස් වී ඇත්තේ දිය නෑම සඳහා ඇඟ ගැල්වීමට සකස් කරන ලද ඖෂධ වර්ග සකසා ගැනීමට ගල ගෑව  ස්ථානය බව කියවේ.  මෙහි දිය නෑමට පැමිණි පිරිස් සබන් වෙනුවට ඖෂධ ගලේ ගා සකස් කොට  ශරීරයේ තවරා දිය නා පිරිසිදු වී තිබේ. 

කොත්මලේ යනු මෙරට රජ දවසේ පටන් දැඩි කතා බහට ලක් වූ පැරණි පුරාවෘත්තයන් රැසකින් පොහොසත්ව  පවතින ප්‍රදේශයකි. වර්තමානයේ කොත්මලේ යනු ගමක නමක් වුවද, මෙරට රජ දවසේ කොත්මලේ යනු රටක් ලෙස වෙන්ව පැවති ප්‍රදේශයකි. ඈත අතීතයේදී මෙලෙස කොත්මලේ රටක් ලෙස පැවැති කාලයේ සිට මෙම රණමුනේ පිහිල්ල නිර්මාණය කොට තිබිණි. ගැමුණු කුමාරයා කොත්මලේ මාවෙල ගමේ වසර 16ක් අප්‍රකට ලෙස සැඟවී ජීවත් වෙමින් සිටියදී මෙම රණමුනේ  පිහිල්ල  දිය නෑම උදෙසා ඔහු නිරන්තරයෙන් භාවිතා කර ඇතැයි පැරණි පතපොතෙහි සඳහන් වේ. 

කොත්මලේ මාවෙල ගම්මානය දුටුගැමුණු රජුගේ කාලසීමාවටත් එහා ගිය පඬුවස්දෙව් රජුගේ කාල සීමාව දක්වා දිවෙන ඉපැරණි ගම්මානයකි.  රණමුනේ පිහිල්ල පිහිටා ඇත්තේ වෙල් යායක ඉහළ ප්‍රදේශය ආශ්‍රිතවයි. එම කුඹුරු යාය එකල දුටුගැමුණු කුමාරයා ගොපලු වෙසින් කොත්මලේ සැඟව ජීවත් වෙමින් සිටියදී අස්සද්දන ලද කුඹුරු යායයි. ඈත අතීතයේ සිට නූතන අද දක්වාම නිරන්තර ජලයෙන් පොහොසත් ප්‍රදේශයක් ලෙස කොත්මලේ පුරවරය හැදින්විය හැකිය. රණමුනේ පිහිල්ල පිහිටි කුඹුරු යාය අස්සද්දා ඇත්තේ පිහිල්ලට ජලය සැපයෙන ජල පහරවල් උපයෝගී කර ගනිමිනි. මාවෙල ගම්මානය හරහා ප්‍රධාන වාරි ඇල මාර්ග ත්‍රිත්වයක් සකස් කොට තිබේ. උඩ මා ඇල, මැද මා ඇල සහ බානගල ඇල ලෙස ඒවා හඳුන්වයි. රණමුනේ පිහිල්ලේ ජලය උඩ මා ඇල හරහා ගලා ගෙන ගොස් තම්මිටිය, මාස්වෙල දක්වා ගමන් කරයි. 

කොත්මලේ පුරවරය පෞරාණික රුහුණු රටට අයත්ව පැවැති ප්‍රදේශයකි. ශ්‍රී දන්ත ධාතුත්  වහන්සේ එක්වරක් සඟවා තිබුණු ප්‍රදේශයක් හෙයින් රජ සමයේ කොත්මලේ පුරවරය අධි ආරක්ෂිත කලාපයක් ලෙසින් පැවැති බව ඉතිහාසයේ දැක්වේ. මායා හා පිහිටි නම් වූ ත්‍රීසිංහලයේ රුහුණු රටට අයත් දළඳා වහන්සේ රැකවරණය ලත් අධි ආරක්ෂක ප්‍රදේශයක් ලෙස රජ සමයේ නම් කොට තිබූ ප්‍රදේශයක් හෙයින් කොත්මලේ පුරවරයට රජ දවසේ පටන්  මහත් ගෞරවයක් හිමිව තිබිණි.

ගැමුණු කුමරු රජ වීමට පෙර  සිය මවගේ උපදෙස් මත සැඟවීම පිණිස  එනු ලබනුයේ  කොත්මලේ ප්‍රදේශයටයි. සාමාන්‍ය ගම් වැසියෙකු නොහොත් එඩේරෙකු  ලෙස ජීවත්ව ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේ පිහිටි කොටගෙපිටිය නැමති ගම්මානයේයි. කොත්මලේ තවත් එක් සුන්දර ගම්මානයක් වූ  කොටගෙපිටිය ගම්මානය තුළ ගැමුණු කුමාරයා අප්‍රකට ලෙස ජීවත්ව ඇත්තේ  ඌරු පැලැස්ස ගම්මහගේ නමැති ගොවි ගෙදර  නිවසේ එඩේරෙකු ලෙසයි. නමුත් වර්තමානය වන විට මෙකී ඵෙතිහාසික සුන්දර කොටගෙපිටිය ගම්මානය නායයෑමේ අවදානමක් මතුව ඇති ප්‍රදේශයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් හට ඉන් ඉවත් වීමේ නිවේදනයන් පවා නිකුත් කොට තිබේ.

ගැමුණු කුමාරයා මෙරට රජ වීමට පෙර ගාමිණි නමින් ප්‍රසිද්ධව සිට ඇත.  කොත්මලේ ප්‍රදේශයේ අප්‍රකට ලෙස සැඟව ජීවත්වීමට පැමිණීමේදී තම රාජකීය කඩුව කොත්මලේ, කඩදොර, දෙහදුකඩුල්ල ප්‍රදේශයේ ගසක් යට සඟවා තැබුව බවට ඉතිහාසයේ  සඳහන් වේ. පසු කාලීනව එනම් ක්‍රිස්තු පූර්ව 137 සිට 161 දක්වා කාලය තුල මෙරට පාලනය කරන ලද දුටුගැමුණු රජතුමා ආක්‍රමණික එළාර රජු පරදවා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකික ජනතාව බේරා ගෙන ශ්‍රී ලංකාව එක් සේසත් කරන ලද පාලකයෙක් ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගේ දැඩි ගෞරවයට ලක් වූ ප්‍රකට  රජ කෙනෙකු වේ.

සටහන හා ඡායාරූප-  ශාන් හුලංනුගේ

 

0 comments

Leave a Reply

Post Comment