රාජ්‍ය නිලධාරීන් ඇතුළු දහස් ගණනක් මුදල් තැන්පත් කරලා
මහ බැංකුවේ කිසිදු අවසරයක් නෑ - පැමිණිලිත් ලැබිලා තියෙනවා - ශ්‍රී ලංකා මහ බැංකුව
“කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙකෙන් ගොඩයන්න පුළුවන්. කොයි වෙලාවේ මේක නවතියිද දන්නෙ නැති නිසා කොහොම හරි තවත් කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාභය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි” බව Onmaxdt නමින් හඳුන්වනු ලබන පිරමීඩ ජාවාරමක මුදල් තැන්පත් කරනු ලැබූ ප්‍රියන්ත (සැබෑ නම නොවේ) ප්‍රකාශ කර සිටියේය.
ඔස්ට්‍රේලියාවේ සමාගමක් ලෙස පෙන්වාදෙන මෙම පිරමීඩ ජාවාරම මගින් සිදුකරනු ලබන්නේ cryptocurrency (ගුප්ත ව්‍යවහාර මුදල්) හරහා මුදල් ගනුදෙනු කරන බව පවසමින්, ඒ සඳහා මුදල් ලබාදෙනු ලබන පුද්ගලයන් හට එම මෘදුකාංගය (app එක) හඳුන්වාදෙමින්, ඒ මගින් ඔවුන් හට ගිණුමක් ලබාදී මුදල් ආයෝජනය කිරීමෙන් අනතුරුව, එම ගිණුමේ මුදල් නිරන්තරයෙන් වැඩි වන බවට පෙන්වීමට කටයුතු කිරීමයි. ඒ මගින් මුදල් ලබාදෙන්නන් අතර විශ්වාසය ඇතිකරමින් රැවටීමට ලක්කෙරේ.
කෙසේ නමුත් මෙසේ මෘදුකාංගයක් මගින් ක්‍රියාත්මක වුවත්, ඒ සඳහා මුදල් තැන්පත් කිරීමට ඒ වෙනුවෙන් කිසිදු අවස්ථාවක ගිණුම් අංකයක් ලබානොදෙන අතර, ඔවුන් එම මුදල් තැන්පත්කරුවන්ගේ අතින් ලබාගැනීම පමණක් සිදුකෙරේ. එමෙන්ම එසේ අතින් ලබාදෙනු ලබන මුදල් Onmaxdt නම් ආයතනය සම්බන්ධ නියෝජිතයන් හරහා ලබාගැනීමට කටයුතු කෙරේ. එසේ මුදල් ලබාදීමෙන් පසු සති දෙකකින් අනතුරුව අදාළ මුදල් ලබාදුන් තැනැත්තා වෙනුවෙන් ලබාදෙන මෘදුකාංගය මගින් තමන් උපයන ලද මුදල් USDT ලෙස ලැබෙන බවට පෙන්වීම සිදුකෙරෙයි. නමුත් ඔවුන්ගේ ගිණුම් සඳහා මුදල් ලබන්නේ රුපියල් ලෙස වේ.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සමාගමක් ලෙස පෙනී සිටින මෙම ආයතනය මගින් මේ ආකාරයෙන් මුදල් තැන්පත්කරුවන්ගේ ගිණුම් තුළට මුදල් තැන්පත් කිරීම් සිදුකරනු ලබන්නේ කුමන ගිණුමක් මගින්ද යන්න සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එම මුදල් ලබාදෙනු ලබන්නේ ලංකාවේම විවිධ පුද්ගලයන් හරහා දේශීය බැංකු මගින් බවයි.
ව්‍යාජ තොරතුරු
එමෙන්ම Onmaxdt යන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවේ ඔවුන්ගේ ලිපිනය සඳහන් කර ඇත්තේ 42 Logan Rd, Woolloongabba QLD 4102, Australia ලෙසිනි. අප මෙය googal map හරහා මෙන්ම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන මාධ්‍යවේදීන් දෙදෙනෙකු හරහාද සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එම ස්ථානයේ ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන ආයතනයක් නොමැති බවත්, එම ස්ථානයේ පවතින්නේ The Bungalow Brisbane නමැති අවන්හලක් පමණක් බවය.
විශේෂයෙන්ම ඕනෑම පිළිගත් ආයතනයක් ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට මත්තෙන් එහි නෛතිකත්වය සපුරාගත යුතුය. නමුත් එසේ වූ ලියාපදිංචියක් ලංකාවේද මෙතෙක් මෙම ආයතනය සිදුකර නොමැති බව සිදුකළ සොයා බැලීමේදී කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.
එමෙන්ම මෙවන් සමාගමකට ලංකාවේ මේ ආකාරයෙන් ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා අවසර ලබාදී තිබේද යන්න සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ 2022.08.23 දිනැතිව සිදුකරනු ලැබූ විමසීමකට අනුව ලබාදුන් තොරතුරු මගින්ද අනාවරණය වූයේ, එවන් සමාගමක් සඳහා ලංකාව තුළ මුදල් ආයෝජනය කිරීම සඳහා අවසර ලබාදී නොමැති බවයි. එමෙන්ම එම තොරතුරුවලට අනුව Onmaxdt නමැති ආයතනය සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවත්, ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත් පවසා තිබේ.
මෙම ආයතනය 2020 වර්ෂයේ සිට මේ ආකාරයෙන් මූල්‍ය ගනුදෙනු සිදුකර ඇති නමුත්, ඔවුන්ගේ වෙබ්අඩවියට අදාළ Onmaxdt.com යන නාමය ලබාගෙන ඇත්තේ 2021.07.22 දින බවද, එය නැවත 2022-11-22 යාවත්කාලීන කර තිබෙන බවද https://who.is/whois යන වෙබ්අඩවි සමාලෝචනය කරන වෙබ්අඩවිය හරහා සිදුකළ සොයා බැලීමකදී අනාවරණය විය.
මෙයට අමතරව ලොව සිදුවන වංචා සම්බන්ධයෙන් යම් සමාලෝචනයන් ලබාදෙනු ලබන Scam Detector වෙබ්අඩවියට අනුව ඕනෑම වෙබ්අඩවියක් Scam Detectorහි ඇල්ගොරිතම ශ්‍රේණිගත කිරීම් ලබාදෙනු ලබන අතර, ඒ අනුව ඕනෑම වංචාවකින් තොර වෙබ්අඩවියක් 50%කට වඩා ඉහළ ප්‍රතිශතයකින් තිබිය යුතුය. නමුත් එම වෙබ්අඩවියට අනුව Onmaxdt.com යන වෙබ්අඩවිය දරන්නේ 0.7%(https://www.scam-detector.com/validator/onmaxdt-com-review/) ප්‍රතිශතයක් වේ. ඒ අනුව Scam Detector වෙබ්අඩවියේ නිගමනය ලෙස දක්වා ඇත්තේ මෙම වෙබ්අඩවිය ආයෝජන කර්මාන්තයට අදාළ අනෙකුත් සාධක සම්බන්ධ ඉහළ අවදානම් ක්‍රියාකාරකම් සහිත වෙබ්අඩවියක් ලෙස වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ලෙස පෙනී සිටින මෙම සමාගමේ ප්‍රේක්ෂක විහිදීම සම්බන්ධයෙන් www.similarweb.com වෙබ්අඩවිය ඔස්සේ සිදුකරනු ලැබූ සොයා බැලීමකදී අනාවරණය වූයේ 2022 නොවැම්බර් මස 22 වන විට එහි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් 94.61%ක්, කැනඩාවෙන් 5.39%ක් බවයි.
https://www.similarweb.com/website/onmaxdt.com/#geography. එහි කිසිදු ආකාරයක ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂක පිරිසක් පෙන්නුම් කර නොමැති මෙන්ම මෙම ආයතනය ඔස්ටේලියානු සමාගමක් හෝ එහි ක්‍රියාත්මක සමාගමක් නොවන බවට කරුණු තහවුරු වේ. මේ සියලු දත්ත සැලකිල්ලට ගැනීමේදී මෙම Onmaxdt ව්‍යාපාරය කිසිසේත් නීත්‍යනුකූල සමාගමක් නොවන බවට මෙන්ම ඔස්ට්‍රේලියානු යෝජනා සමාගමක් නොවන බවට පෙන්වා දිය හැකිය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා Onmaxdt යන ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සාමාජිකයන් බඳවාගනු ලබන ලුණුගම්වෙහෙර පදිංචි සුමිත් සුදුසිංහ නමැති අයගෙන් 2022 අගෝස්තු මස 25 දින මේ සඳහා මුදල් ආයෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසූ අතර, එහිදී ඔහු පැමිණ එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පවසා සිටියේය.
එමෙන්ම මේ වන විට ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් මුදල් ආයෝජනය කර තිබෙන බවත්, ඒ සඳහා තමන් වගකියන බවත් ඔහු පවසා සිටියේය. නමුත් පසුව මාධ්‍ය වෙත පළකරන මෙම ලිපිය සඳහා 2022 10.10 වන දින ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් හට වගකීමක් දැරිය නොහැකි බවත්, ඒ සඳහා සම්පත් සඳරුවන් නමැති අයගෙන් කරුණු විමසන ලෙසත්ය.
“මේකෙ සභාපති වශයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඩෑන් බස්නායක කියන කෙනෙක්. ඔහු නුවර කෙනෙක්. ඇත්තටම මමත් මේකෙ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන කෙනෙක්. මමත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඕන නම් ලංකාවේ කණ්ඩායමේ ඉන්න සම්පත්ගෙන් වැඩි විස්තර දැනගන්න” එමෙන්ම මෙම ආයතනයේ, ප්‍රාදේශීය ලේකම්වරුන් පවා මුදල් තැන්පත් කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔහු ලබාදුන් දුරකථන අංකයට අනුව 2022 නොවැම්බර් 22 දින සම්පත් සඳරුවන් නමැති අය සම්බන්ධ කර ගැනීම සඳහා අප උත්සාහ කරනු ලැබුවත්, ඔහු විසින් දුරකථනය සඳහා ප්‍රතිචාර නොදක්වන ලදී.
ජනතාව අන්දන හැටි
විශේෂයෙන්ම මෙම පිරමීඩ ජාවාරම හා සම්බන්ධ බොහෝ පිරිස් ලංකාවේ දිස්ත්‍රික්ක බොහොමයක සිටින අතර, ඒ අතර නුවර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, හම්බන්තොට, රන්න, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශ තුළත් බහුලව බොහෝ පිරිසක් මේ සඳහා මුදල් ආයෝජනය කර තිබේ. මුදල් ආයෝජනය කර තිබෙන පිරිස් අතර රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිටී. සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ පිරිස් ඉඩම් උකස් කර පවා මේ සඳහා මුදල් ආයෝජනය කර තිබෙන බවත්, පොලිස් නිලධාරීන්ද මේ අතර සිටින බව නම හෙළිකිරීමට අකමැති වූ ආයෝජකයෙකු පවසා සිටියේය.
“අපි USDT 1000ක් (රුපියල්වලින් තුන්ලක්ෂ හැත්තෑපන්දාහක්) විතර දැම්මම ඒ මුදල මාස 4කින් පමණ අපිට ලැබෙනවා. ඒ වගේ මාස 15ක් යනකම් මේ අය අපිට ගෙවනවා. කොහොම හරි ඒ මාස 15ට, මුලින් අපි දාපු මුදල වගේ තුන් ගුණයක් අපට ලැබෙනවා. හැබැයි තව කට්ටිය මේකට අපි බඳවා ගත්තොත් අපිට තවත් කොමිස් එකක් හම්බවෙනවා. එතකොට දාපු මුදල මාස දෙකකදී විතර හොයාගන්න පුළුවන්. ඒ නිසා සල්ලි දාපු මිනිස්සු කරන්නේ කොහොම හරි තව කට්ටිය සම්බන්ධ කරන එක." බව නම හෙළිකිරීමට අකමැති මෙහි මුදල් ආයෝජනය කළ අයෙකු කියා සිටියේය.
විශේෂයෙන්ම මේ සඳහා ජනතාව දැනුම්වත් කරමින් මුදල් ආයෝජනය කිරීමට මුදල් ලබාගන්නා පිරිස් මිනිසුන්ට පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ මෙම මුදල් ආයෝජනය කරමින් ඉන් ලැබෙන ලාභය මේ ආකාරයෙන් බෙදා දෙන බවයි. නමුත් මේ ආකාරයෙන් ලාභාංශ ලෙස බෙදා දීමට තරම් ආයෝජනයක් නොව එහි කොටසක්වත් ලබාදීමට තරම් ආයෝජන ක්‍රියාවලියක් මෙම ආයතනය සිදුකරන බවට කිසිදු තොරතුරක් අදාළ ආයතනයේ නියෝජිතයන් වශයෙන් කටයුතු කරන පුද්ගලයන් හට පැවසීමට නොහැකි විය.
කෙසේ නමුත් මෙම ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ පිරිසකගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයෙන් හෙළි වූයේ, මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්, තවත් පුද්ගලයන් මේ සඳහා බඳවා ගැනීමේ අදහසින්, ඔවුන් මෙහි ආයෝජකයන් බව හුවා දක්වමින්, තමන් මෙයින් විශාල දියුණුවක් අත්කරගෙන ඇති ආකාරය දැක්වෙන ඡායාරූප හා අදහස් තමන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු තුළ පළකිරීමයි.
විශේෂයෙන්ම එසේ පළකිරීම් තුළ, රුපියල් කෝටි ගණනින් මුදල් රැස්කරමින් ලබාගත් වාහන, ලබාගත් ආකාරය හා බොහෝ අවස්ථාවල විශාල ගණනින් රැස් කළ මුදල්හි ඡායාරූප පවා පළකර තිබේ. ලංකාවේ 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනතට අනුව යම් තැනැත්තෙකු මුදල් උපයාගන්නා ආකාරය හෙළිකිරීමට හැකියාවක් පැවතිය යුතුය.
එය ක්‍රියාත්මක කිරීමට පොලීසියටද බලය ඇත්තේය. නමුත් කන්න ඕනෑ වූ විට කබරයාද තලගොයා කරගෙන නීතිය ක්‍රියාත්මක කරන ලංකාවේ පොලීසිය ඇතුළු වගකිවයුතු නිලධාරීන්, දහස් ගණනකගේ මුදල් මංකොල්ලකමින් අනාගතයේදී තවත් විශාල පිරිසකට ජීවිත, දේපළ පවා අහිමි කිරීමට තරම් බලපෑමක් සිදුකරනු ලබන මෙම ජාවාරම්කාරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණකි.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගැනීමට අප කීප අවස්ථාවක් උත්සාහ කරනු ලැබුවත්, එය ව්‍යර්ථ විය. නමුත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකොට මෙම ජාවාරමෙන් ජනතාව ගලවා ගැනීමට කටයුතු කිරීම රජයේ මෙන්ම අදාළ බලධාරීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
Gihan Perera
02 years 05 months 11 days 22 hours 13 minutes 47 seconds agoONmax වගේ තව තියෙනවා ඒවා ගැනත් පල කරන්න.
ReplyKjperer
02 years 03 months 22 days 19 hours 56 minutes 34 seconds agoමෙහෙමයි ..අපිටනම්.onmaxdt වලින්.වරදක් නැ .අන්තිම අඩියට..වැටිලා හිටියේ..යාන්තම් කීයක් හරි හම්බවුනේ onmaxdt වලින්.ඉරිසියා කරන්න එපා..අපි.ප්‍ර්තිලාභ.හොදින් ලබමින් ජිවත්වනවා.
ReplyRuwan arachchi
02 years 03 months 12 days 18 hours 54 minutes 26 seconds agoමේක පිරිමීඩයක් නෙවෙයි අපි මුදල් ආයෝජනය කරල දවස හානේ මුදල් හම්බකරනව ඇයි මහත්මය ඔයා මේ මඩ ගහන්නේ
Replytharusha dilshan
02 years 02 months 26 days 18 hours 15 minutes 36 seconds agoඒක තමයි මාස පහකට කලින් මාත් අහුවුනා ඕකට දැන් මගෙ දවසෙ income එක ලක්ෂ තුන පනිනවා
ReplyAmiladkd
02 years 02 months 15 days 21 hours 53 minutes 12 seconds agoතාම යනවා නේහ්.
ReplyIndika
02 years 02 months 09 days 22 hours 14 minutes agoමහා බැoකුව හොරා කනකොට ඔය එකෙක් වත් කතා කරන්න නැහැ තුව කටයි පුකයි වහා ගෙන හිටියා කාලකන්නි අපිට රස්සාවල් නැති ව මැරෙන්න වැටිලා හිටියේ ණයට රුපියල් 100000/= අරගෙන onmaxdt ආයතනය අයෝජනය කලේ ණය ගෙවලත් අතයට ලාභයක් අරගෙන ලස්සන ජිවත් වෙනවා onmaxdt ආයතනය පින්සිද්දවේන්න onmaxdt ජයවේවා
ReplySirinath
02 years 02 months 01 days 21 hours 28 minutes 44 seconds agoමම ඇගළුම් ආයතනයක සේවයකරෙ වැඩ නැති නිසා වැටුප් ලැබෙන්නේ ප්‍රමාද වෙලා.මට පාසල් යන ළමයි තුන්දෙනෙක් ඉන්නවා ONMAX DT ඒක කරන අයට පින් සිදු වෙන්න මගේ ළමයි දවසට තුන්වේල කාලා ඉන්නේ. එනිසා බොරුවට මඩගහලා මේක විනාස කරන්න හදන්න එපා.එක මෙයාලගේ පවුල් වලටත් හෙන ගහන අපරාධයක්.
Reply