රූපලාවණ්‍ය නිෂ්පාදන යැයි පවසන ක්ෂණයෙන් අපට මතක් වන්නේ තොල් ආලේපන, ඇස් මත තවරන වර්ණ ආදියයි. නමුත් Cosmetic යන්නෙන් අප නොසිතන, දෛනිකව භාවිතයට ගන්නා බොහෝ නිෂ්පාදන විග්‍රහ කෙරෙයි.  Cosmetic ඇත්තටම අපට අවශ්‍යද? ඒවායේ හොඳ හා නරක තත්ත්ව පවතීද? Cosmetic අවශ්‍යම නම් ඒවා භාවිත කළයුත්තේ කෙසේද? Cosmetic සමග වැඩි වශයෙන් ගනුදෙනු කරන කාන්තා ඔබට මෙම උපදෙස් ගෙන ආවේ හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට විසිනි. ඒ  පසුගිය දිනෙක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කළ 'ප්ලාස්ටික්, රූපලාවණ්‍ය ආලේපන සහ ක්ෂණික කෑම : විහින් නැහෙමුද? දැනුවත් වෙමුද?' යන සම්මන්ත්‍රණයේදීය.

රූපලාවණ්‍ය ද්‍රව්‍ය කිව්වම අපේ මුහුණේ ආලේප කරන විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන හෝ තොලේ ආලේප කරන ලිප්ස්ටික් පමණක්ම නොවෙයි, අපි පාවිච්චි කරන හෙයාර් ඩයි වර්ගත් ඇතුළත් වෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය ද්‍රව්‍ය යටතට අපි මූණ හෝදන්න ගන්න සබන් කෑල්ල, ෂවර් ජෙල් , පිරිමි අය පාවිච්චි කරන ෂේවිං ෆෝම්, ආෆ්ටර් ෂේව්, බේබි වයිප් ආදී සියල්ලත් අයිති වෙනවා. එසේනම් අපි මේ කතා කරන්නේ පින්තූරයක් වගේ ලස්සන වෙන්න මේක්අප් දාන කාන්තාව ගැන පමණක්ම නොවෙයි. එදිනෙදා පාරේ බැහැලා යන කාන්තාව, පිරිමියා වගේම පොඩි දරුවාටත් මේ කියන කරුණු අදාළ වෙනවා. 

  • Cosmetics මිලදී ගැනීමට පෙර අපි අනිවාර්යෙන්ම නම බැලිය යුතුයි.
  • අපි ළඟට එන බොහෝ රෝගීන්ගෙන් විමසුවාම පවසන්නේ නයිට් ක්‍රීම් වර්ගයක් ආලේප කරන බව. නමුත් එහි නම බොහෝ වෙලාවට මතක නැහැ. 
  • ඇයි මෙය පාවිච්චි කළ යුත්තේ කියන දේ මීළඟට සොයා බැලිය යුතුයි.
  • භාවිතයට උපදෙස් පවතිනවාද යන්නත් කියවා බැලිය යුතුයි. මන්දයත් ඇතැම් ක්‍රීම් වර්ග ආලේපකර හිරු එළියට යෑමෙන් සම අවපැහැ ගැන්වෙන බව සටහන් කර තිබෙනවා.
  • මීළඟට අඩංගු ද්‍රව්‍ය. පොඩි ඇසුරුමක ප්‍රධාන අමුද්‍රව්‍ය වර්ගත්, ග්‍රෑම් 100න් ඉහළ ඇසුරුම්වල සියලුම අමුද්‍රව්‍යත් සටහන් කර තිබිය යුතුයි.
  • නිෂ්පාදිත රට හා නිෂ්පාදිත ආයතනය. මෙන්න මෙය ඉතාම වැදගත්. අපි ඇහිබැම සකස් කරන්න ගියාම සැලෝන් එකේ එක්කෙනා කිව්වා කියලා ඔවුන් නිෂ්පාදනය කළ ක්‍රීම් වර්ගයක් හෝ යම් ආලේපනයක් හොඳ යැයි කියා භාවිතයට දුන්නොත් එය කිසිවිටකත් මිලදී ගන්නට එපා.

නිෂ්පාදනයේ කාණ්ඩ අංකය.

  • අතුරු ආබාධයක් ආ විට පරීක්ෂණ සදහා යොදා ගැනීමට මේ කාණ්ඩ අංකය අත්‍යවශ්‍ය වෙනවා.
  • විශේෂ නිර්දේශ හෝ අවවාදාත්මක සටහන්.
  • නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය.
  • ඕනෑම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිත කරන්න කලින් එහි සටහන් සියල්ල කියවා බැලිය යුතුයි. 
  • ඒ වගේම අපි හෙයාර් ඩයි එකක් පාවිච්චි කරනවා නම් ස්කින් ටෙස්ට් එකක් අනිවාර්යෙන් සිදුකළ යුතුයි.
  • ඒ වගේම Cosmetics නිෂ්පාදන වාහනේ තබා යන්න එපා. වාහනයේ රස්නය නිසා එම නිෂ්පාදනවලට අහිතකරමය බලපෑම් සිදුවිය හැකියි.
  • විවෘත කළ පසු හොඳින් වසා පිරිසුදුව තබාගන්න. එසේම විවෘත කළ Cosmetic නිෂ්පාදන මාස හයකට පසු ඉවත් කළ යුතුයි. අවුරුදු තුනක් හතරක් එකම ලිප්ස්ටික් එක පාවිච්චි කිරීම නම් අනුමත කරන්න බැහැ.
  • ඒ වගේම අලුත්ම නිෂ්පාදනයක් හරි විවෘත කරන අවස්ථාවේ යම් වෙනස්කමක් දකිනවා නම් එය භාවිත නොකර ඉවත් කළ යුතුයි.
  • දරුවන්ගෙන් ඈත් කර තබන්න.
  • බේබි ඕඩිකොලොන් හැර ඇල්කොහොල් අඩංගු කොලොන් නිෂ්පාදන අවුරුද්දට අඩු බබාලට පාවිච්චි නොකළ යුතුයි.
  • ගැහැනු දරුවන්ගේ ඉකිලිවලට පවුඩර් දැමීම නොකළ යුතුයි.
  • හෙයාර් ඩයි පාවිච්චි කරන්නේ නම් ආලේප කරන සෑම වතාවකම ස්කින් ටෙස්ට් කිරීම සිදු කළ යුතුයි.
  • දරුවෙක් හදන්න බලාපොරොත්තු කාන්තාවක් නම් සබන් ගාලා, ෂැම්පු ගාලා හොඳින් පිරිසුදුව සිට අනෙක් සියලුම Cosmetics වලින් ඈත් වෙන එක තමයි සුදුසුම වන්නේ.
  • අපි බොහෝ Cosmetics දැන්වීම්වල දැකලා තියෙනවා එම ආලේපන භාවිත කර බය නැතිව අව්වට යන්න පුළුවන් බව. නමුත් මේ නිෂ්පාදන භාවිතයෙන් පසු සමේ සුදු ලප ඇතිවන ආකාරය දකින්නට පුළුවන්. ඒ නිසා කියන්න ඕන කවුරු හරි Day Cream එකක් ගානවා නම් අනිවාර්යෙන් සන් ක්‍රීම් එකකුත් ආලේප කළ යුතුයි.

Cosmetics වල හොඳ 

  • Cosmetics වල නරක වගේම හොඳත් තිබෙනවා. එය තමයි තමන්ගේ පෙනුම ලස්සන කර ගැනීම. 
  • සමේ යම් ගැටලුවක් තිබෙන අයට එයට අවශ්‍ය ප්‍රතිකාර ගන්නාතුරු පෙනුම ප්‍රසන්න කර ගැනීමට Cosmetics නිෂ්පාදන ගැල්වීම සිදුකළ හැකියි.
  • තරුණ පරපුරට තමන්ගේ කණ්ඩායම තුළ කැපී පෙනෙන්නට Cosmetics අවශ්‍යයි.

අතුරු ආබාධ

  • බොහෝ විට දක්නට ලැබෙන්නේ ආසාත්මිකතා වේ.
  • කුරුලෑ ඇතිවීම. ස්ටීරොයිඩ් හා බ්ලීචිං අඩංගු නිෂ්පාදන භාවිතය නිසා කුරුලෑ ඇතිවීම බහුලව සිදුවේ.
  • පිග්මන්ටේෂන් - සුදු ලප හෝ කළු ලප ලෙස මේවා සමේ මතුවේ.
  • මුහුණ සුදු වෙන්නට පාවිච්චි කරන ආලේපනවල ප්‍රබල ස්ටීරොයිඩ් සංයෝග අඩංගු වීම මත මුහුණේ රුධිර නාලිකා ස්ථිරවම විශාල වී මුහුණ මත රතු ලප ඇති කරයි. කට වටේ කොටස මෙම සංයෝගවලට ඇබ්බැහි වී අවසානයේ එම ආලේපන ගැල්වීම නැවැත්වූ විට දද වර්ග, ඉදිමීම, කැසීම වැනි දේ ඇතිවිය හැකිය.
  • කිහිලිවලට ආලේප කරන නිෂ්පාදන නිසා ඒ ආශ්‍රිතව ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙනවා.
  • මීළඟට මුහුණේ දිලීර ආසාදන ඇතිවෙනවා.

ආසාත්මිකතා ඇති වීම

  • හෙයාර් ඩයි - බොහෝ දෙනාට මේවා ආසාත්මික වන්නේ පළමු වර හෝ දෙවන වර නොවෙයි. බොහෝ රෝගීන් අපි ළඟට එන්නේ අවුරුදු 10ක් 15ක් මේ නිෂ්පාදන කිසිම ගැටලුවකින් තොරව ගැල්වීමෙන් පසුව ආසාත්මිකතා එක්කයි. එය තමයි හෙයාර් ඩයිවල ස්වභාවය. මෙම තත්ත්වය ඇති වෙන්නේ බ්‍රෑන්ඩ් එක අනුව නොවෙයි. අපි සුළු මුදලකට මිලදී ගත්තත්, වැඩි මුදලක් දී මිලදී ගත්තත් PPD කියන සංයෝගය මේ සියලුම නිෂ්පාදනවල අඩංගු වෙනවා. එම සංයෝගය තමයි ප්‍රධාන වශයෙන් මෙම ගැටලුවට හේතු වන්නේ. ඒ වගේම කියන්න අවශ්‍යයි බ්ලැක් හෙනා කියන්නේ 100% ස්වාභාවික නිෂ්පාදනයක් නොවෙයි. මරතොන්ඩිවලට PPD කියන සංයෝගය එක්කරලයි මේවා නිෂ්පාදනය කරන්නේ. මීළඟට ඩයි ෂැම්පුවලත් මේ දේම සිදුවිය හැකියි. මෙහිදී ආසාත්මිකතා නිසා මුහුණ ඉදිමීම, කැසීම, මුහුණ රතු වීම, දද ඇතිවීම වගේ දේවල් ඩයි ආලේප කරපු අවස්ථාවේ හෝ දින දෙක තුනකට පසුව වුවද ඇති විය හැකියි. මේ හැම අවස්ථාවකම ඖෂධ ලබා දිය යුතු අතරම PPD රහිත නිෂ්පාදන භාවිතයට යොමු විය යුතු වේ.
  • ලිප්ස්ටික් - ආසාත්මික වෙන්නට හේතු වන්නේ ඒවායේ බේස් එකට යොදාගන්නා ද්‍රව්‍යයන්ය. කල්තබා ගැනීම වෙනුවෙන් යොදන රසායන වර්ගද ආසාත්මික විය හැකිය. එමෙන්ම  ලෝන්ග් ලාස්ටිංග් ලිප්ස්ටික් වර්ගවලට එක්කර ඇති රසායනික නිසාත් විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකියි.
  • වයිට්නින් ක්‍රීම්- බොහෝ විට හයිඩ්‍රොක්‍යුනෝන් නම් රසායනිකය මේවායේ අඩංගු වේ. මෙය වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු විරංජනකාරකයකි. එය වෛද්‍යවරයෙකුටද  නිර්දේශ කළ හැක්කේ 4෴ක් අඩංගු නිෂ්පාදනයක් පමණයි. මේ 4෴ක ප්‍රමාණය රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු විය නොහැකියි. නමුත් වයිට්නින් ක්‍රීම්වල මේ ප්‍රතිශතය කොපමණද කියලවත් කියන්න බැහැ. මීළඟට Clobetasol වැනි ස්ටීරොයිඩ් වර්ග තුනක් මේ නිෂ්පාදනවල අඩංගු වෙනවා. මේවා අඩංගුද කියලා මනින්න තාක්ෂණයක් ලංකාවේ තවම නැහැ. ඒ නිසා වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මීළඟට රසදිය වැනි බැරලෝහ අඩංගු වෙනවා. මෙම ද්‍රව්‍ය අඩංගු නිසා අපේ සම එම රසායනිකවලට ඇබ්බැහි වෙනවා. ඉන්පසුව අපේ මුහුණ කැසීම, රතුවීම සිදුවෙනවා. සමේ කොලජන්වලට හානි වීම නිසා තුවාල ඇති වූ විට සුව නොවන තත්ත්ව ඇති කරනවා. මීළඟට වකුගඩු වලට හානි සිදුවෙනවා. ඒ වගේම මීයන් යොදා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා මෙම ආලේපන වල අඩංගු රසදිය ඩිම්බකෝෂවලට පවා හානි සිදුකරන බව. ඒ අනුව මේවායෙන් අපේ ශරීරයට සිදුකරන හානි ගැන කියන්නවත් බැරි තරම්. හයිඩ්‍රොක්‍යුනෝන් කියන රසායනය අපේ ජානවලට හානි සිදුවෙන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති නිසා පිළිකා තත්ත්ව ඇති කරන්න පුළුවන් බව සඳහන් වෙනවා. මේ නිසා මෙම රසායන අඩංගු නිෂ්පාදන භාවිතයෙන් ඈත් විය යුතුයි. විශේෂයෙන් මෙම රසායන අඩංගු නිෂ්පාදන අපේ ෆාමසිවල, රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිසල්වල විකුණන්න තිබෙන එක භයානක තත්ත්වයක්.
  • මේ ලෙස විවිධ රසායනික සංයෝග මත විවිධාකාරයේ ආසාත්මිකතා, පිළිකාකාරක ශරීරගත වීම් සිදුවිය හැකියි. වෛද්‍ය විද්‍යාත්මකව මේ නිසා ලබා දිය හැකි උපදේශය වන්නේ  හැකිතාක් Cosmetic භාවිත කිරීමෙන් වැළකෙන්නට අවශ්‍ය බවත්, Cosmetic අවශ්‍යම නම් අවශ්‍යතාව මත කෙටිකාලීනව භාවිතයට ගත යුතු බවත්ය.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment