ලස්සනට ඉන්න කැමති කාටත් නිතර හිතට නැගෙන රූපලාවණ්‍ය ගැටලු කිහිපයක් පිළිබඳව අප මෙවර Beauty පිටුව  හරහා අවධානය යොමු කරනු ලැබුවා.

තොල් ආලේපනයක වර්ණ ගැළපීමේදී

තොල් ආලේපනයක් නැත්නම් lipstick එකක් තෝරා ගැනීමේදී මූලික වශයෙන් අප අවධානය යොමුකරනු ලබන්නේ එය අපේ සමේ වර්ණය සමග ගැළපෙන්නේද යන්න සම්බන්ධවයි. නමුත් එය පමණක්ම මෙහිදී ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් තොල් මත ආලේප කරන වර්ණය තෝරා ගැනීමේදී තමන්ගේ පෞරුෂයට ගැළපෙනවාද? තමන් නිරතවන වෘත්තියට ගැළපෙනවාද? යන්න වගේම කුමන අවස්ථාවක් සඳහා සහභාගි වීමට යන්නේද යන්නත් මෙහිදී සලකා බලන්නට සිදුවෙනවා. 

ඒ පමණක්ම නොව උදේ කාලය හා සවස් කාලය අනුවද තොල් මත ආලේප කරන වර්ණ තෝරා ගැනීමේදී වෙනස්කම් කරන්නට සිදුවෙනවා. සාමාන‍යයෙන් උදෑසන කාලයකදී Nude වර්ණ තෝරා ගැනීම වර්තමානයේ Trend එක බවට පත්ව තිබෙනවා. ඒ වගේම සමේ වර්ණය තද අයට ලා වර්ණනම් උදෑසනට නොගැළපෙන බව මතක තබාගත යුතුයි.

ඇසේ වර්ණය අනුව ගළපන හිසකෙස් වර්ණ

සාමාන්‍යයෙන් හිසකෙස් වර්ණ ගැන්වීමේදී ඇසේ වර්ණය අනුව වර්ණ තෝරා ගැනීම සිදු කෙරෙනවා. වර්තමානයේ Contact lenses පැලඳිය හැකි නිසා අපි මූලිකව බැලිය යුතු වන්නේ අපේ හමට ගැළපෙන වර්ණයක් හිස කෙස් මත ගැල්වීමයි. 

විශේෂයෙන් ආසියාතික රටවල්වල ජීවත්වන අයගේ සමේ වර්ණයන්ට ගැළපෙන වර්ණ වන්නේ දුඹුරු පැහැය හා රතු පැහැය අතර වර්ණයන්ය. ස්වභාවිකවම ආසියාතිකයන්ගේ හිසකෙස් කළු හා දුඹුරු පැහැයෙන් පිහිටීම මත ලා වර්ණ හිසකෙස් මත ගැල්වීම තුළින් අදාළ වර්ණය ඒ අයුරෙන්ම ලබා ගැනීම අපහසු වේ. හිසකෙස් වර්ණ ගැන්වීමේදීද අදාළ පුද්ගලයා නිරතවන රැකියාව හා වෘත්තිය පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුයි.

ඇස්මත ගල්වන වර්ණ

කාන්තාවන් බොහෝ වෙලාවට ඇස්පියන් මත වර්ණ ගන්වන්නේ උත්සව අවස්ථාවන්වලදීයි. මෙහිදී තමන් සැරසී සිටින ඇඳුමේ වර්ණයට වර්ණ ගැළපීම බොහෝවිට සිදු කරන්නක්. නමුත් සිදුවිය යුත්තේ සමේ වර්ණයට ගැළපෙන ‘Base color' එකක් පළමුව ගල්වා ඒ මත ඇඳුමේ පැහැයට ගැළපෙන වර්ණ ගළපා ගැනීමය. මෙහිදීද ආසියාතිකයන්ගේ සමේ පවතින තද පැහයට ගැළපෙන්නේ දුඹුරු පැහැය, රන්වන් පැහැය හා කොපර් පැහැය යන පැහැයන් හා සමග යන වර්ණයන්ය.

දිනපතා මේක් අප් කරන අය

දිනපතා රූපලාවණ්‍ය නිෂ්පාදන ගල්වන අය අනිවාර්යයෙන්ම උසස්ම තත්ත්වයේ සන්නාමයකින් යුතු නිෂ්පාදන භාවිත කළ යුතුවේ. එසේ නොමැති වුවහොත් ඇස් යට කළු වීම, සමට හානි වීම, තොල් කළු වීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇති. එසේම දිනපතා මේක් අප් කරන අය Light නැත්නම් Soft base එකක් ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ.

කාර්යාලයට ගැළපෙන ලිප්ස්ටික්

තමන්ගේ රැකියාවට ගැළපෙන අයුරින් තොල් ආලේපන තෝරා ගැනීමේදී වර්තමානයේ Trend එක බවට පත්ව ඇත්තේ Matte ලිප්ස්ටික් වර්ගයි. නමුත් තරුණ වයසේ සිටින අයෙකුට Gloss ලිප්ස්ටික් ගැල්වීමටද පුළුවන්. මැදිවියේ අයෙක් Gloss ලිප්ස්ටික් ගැල්වීමෙන් සිදුවන්නේ ඇයගේ වයස තවත් වැඩි වී පෙන්නුම් කිරීමයි.

ඒ වගේම දවස පුරාම තොල් මත වර්ණය රැඳෙන ලිප්ස්ටික් වර්ග දැන් වෙළෙඳ පොළේ පවතින නිසාම රැකියාවේ යෙදෙන අයෙකුට එවන් නිෂ්පාදනයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.

කුමන වර්ගයේ ලිප්ස්ටික් එකක් තෝරා ගත්තත් එය ආලේප කිරීමට පළමුව ‘Lip Balm' එකක් ආලේප කිරීම යෝග්‍යය. වර්තමානයේ වෙළෙඳ පොළේ Lip Balm සමගම මිශ්‍ර කර නිෂ්පාදනය කළ ලිප්ස්ටික් පවතින බැවින් එවන් නිෂ්පාදනයක්ද තෝරාගත හැකියි.

තොල් ආලේපන නිතර ගල්වන අයගේ තොල් කළු පැහැ ගැන්වී ඇති විට වැස්ලින් වැනි ආලේපනයක් හෝ මී පැණි ආලේප කිරීම ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

(උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ලකී ලියනගේ මහතාගෙන්)
නදීෂානි පතිරණ

 

 

0 comments

Leave a Reply

Post Comment