මනා සිහියෙන් යුතුව කටයුතු කිරීමෙන් සිදුවන විනාශයන් බොහොමයක් නවතාගත හැකිය. මේ පිළිබඳව සඳහන් වන කෘතියකි ගයනා එස්. ලක්මාලි විසින් රචිත 'පියවි'. 

අලුත විවාපත් යුවළක් වන සජිත් සහ මන්දාරා හා ඔවුන්ගේ මිතුරෙකු වන භානුක වටා මෙම කතාන්දරය ගෙතී ඇත. සජිත් සහ මන්දාරා විවාපත් වූ දිනයේ සිදු වූ අනතුරක් නිසාවෙන්, ඔවුන් මුහුණපාන ගැටලු මෙම කෘතියට පාදක වී තිබේ.

පොලීසිය මෙම අනතුර පිළිබඳව ක්‍රමානුකූලව සහ ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂණ මෙහෙය වූ අන්දමද මෙහි විස්තර කර ඇත. සජිත් සහ භානුක එක්ව මෙම අනතුර සැඟවීමට උත්සාහ කළද ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේ දැයි යන්න දැන ගැනීමටනම් %පියවි^ කෘතිය රසවිඳිය යුතුමය.

පොලිස් නිලධාරීන් මෙම අනතුර සම්බන්ධ හෝඩුවාවන් හරහා හඹා ගිය අයුරුද දැක්වෙන මෙහි අවසානය දක්වා සිදුවන්නේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පාඨකයා වෙත ඇතිවන්නේ කුතුහලයකි. මනා භාෂා ශෛලියකින් රචනා කර ඇති මෙම කෘතිය පාඨකයා, විස්මය සහ කුතුහලය අතර අතරමං කිරීමට සමත්ව තිබේ. එමෙන්ම මෙම අනතුර නිසාවෙන්, සජිත්, මන්දාරා මෙන්ම භානුකද චිත්ත පීඩාවන්ට පත්වන අයුරු කතුවරිය මෙහිදී විස්තර කරයි.

බුදු දහමද ඇසුරු කොටගෙන රචනා කර ඇති මෙම කෘතියෙහි අතීත කර්ම, භවයක් පාසාම අප සමගම එන අයුරු විස්තර කරයි. ඒවා ඵලදීම කිසි ලෙසකින් හෝ නැවැත්විය නොහැකි බවද, මෙම කෘතියෙහි විස්තර වේ. අපරාධයක්, අනතුරක් සිදුකර එයින් සැඟවී සිටීම කිසිසේත් සිදුකළ නොහැකි දෙයක් බවද මෙයින් පැහැදිලි කරයි.

කුඩා සිද්ධියක් ඔස්සේ කතා තේමාව, රසවත් ලෙස ඉදිරිපත් කරමින් පාඨක මනස හෝරා කිහිපයකට පොත තුළ අතරමං කිරීමට මෙහිදී කතුවරිය දරා ඇති උත්සාහය ප්‍රශංසනීය වේ. සිද්ධීන් එකිනෙක සමාන්තර ලෙස ගලා යන පරිදි රචනා කර ඇති මෙය, නව පරපුරේ ලේඛිකාවකගේ විශිෂ්ට වෑයමක් ලෙසද හැඳින්විය හැකිය. අපරාධයක සුලමුල සොයන්නට පොලීසිය ගන්නා ප්‍රයත්නය විශිෂ්ට ලෙස ඉදිරිපත් කිරීමට කතුවරිය පොලීසියේ පරීක්ෂණ කටයුතු පිළිබඳව නිසි ගවේෂණයක යෙදී ඇති බවද මෙම කෘතිය කියවීමේදී පාඨකයාට පැහැදිලි වන කරුණකි.

එමෙන්ම මිනිස් සිතිවිලිවල සංකීර්ණත්වය පිළිබඳව විග්‍රහයක යෙදීමටද කතුවරිය මෙහිදී උත්සාහ දරා තිබේ.ජ්‍යෝතිෂ්‍යය සම්බන්ධ කාරණා සහ බුදු දහම සම්බන්ධ වන ආකාරයද මෙම කතාවට කතුවරිය විසින් අන්තර්ගත කර තිබේ.

අවසාන වශයෙන් තමන් සිදුකළ ක්‍රියාවන්හි ප්‍රතිඵල, තමාටම අත්විඳීමට සිදුවන අයුරු පැහැදිලි කරන මෙම කෘතිය, බුදු දහම, ජ්‍යෝතිෂ්‍යය, අපරාධ විද්‍යාව සහ මනෝ විද්‍යාව යනාදී කරුණු රැසක් අධ්‍යයනය කිරීමෙන් රචනා කරන ලද අගනා කෘතියක් ලෙස දැක්විය හැකිය.

නීතිඥ ප්‍රියාශා රන්වල

 

0 comments

Leave a Reply

Post Comment