ස්ථීර රැකියාවක් යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. තමන්ගේ පළමු රැකියා ස්ථානයේම ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇතැම්හු මේ නිසාම උත්සහ දරති.කෙසේ වෙතත් ඇතැමුන් විවිධත්වය මෙන්ම අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත නිසාම ආයතන වෙනස් කිරීමට උත්සහයක යෙදෙනු දැකගත හැකිය. කෙසේ වෙතත් රැකියාවක ස්ථාවරත්වය වැදගත් කරුණක් වන නිසාම පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යාතනයේ විධායක අධ්‍යක්ෂ හා නිර්මාතෘ / බාහිර කථිකාචාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මියගෙන් එ පිළිබඳ අප මෙලෙස විමසීමක් සිදුකළෙමු.

රැකියාවක ස්ථාවරත්වය යනු එකම ආයතනයක දීර්ඝකාලීනව රැඳී සිටීමද?

එකම ආයතනයක දීර්ඝ කාලයක රැඳී සිටීම අපට රැකියාවක ස්ථාවරත්වය යනුවෙන් අර්ථ දක්වන්නට පුළුවන්කමක් නැහැ. එක්තරා ආයතනයකට ලිපිකරු තනතුර සඳහා පැමිණි සේවකයෙක් විශ්‍රාම ගන්නා අවස්ථාවේදීත් එම තනතුරේ රැඳී සිටියා නම් ඒ ආයතනය කෙතරම් හොඳ වුණත් එම සේවකයාගේ රැකියාවේ ස්ථාවරත්වයක් ඇතිවී නොමැති බවයි පෙන්නුම් කරන්නේ.

එනම් එම පුද්ගලයා එම ආයතනය තුළ රැඳී සිටි කාලය තුළ වෙනසකට ලක් වී නොමැති බවයි පෙනී යන්නේ. ඒ නිසා රැකියාවේ ස්ථාවරත්වය තීරණය කිරීම එකම ආයතනයක රැඳී සිටීමෙන් සිදුනොවන බව අප වටහාගත යුතුයි. සේවකයෙක් එකම ආයතනයක රැඳී සිටීමට හේතු ගණනාවක් බලපානවා. ඉතාමත් ප්‍රබල හා ස්ථාවර මෙන්ම හොඳ Reputation එකක් තිබෙන ආයතනයක රැඳී සිටීමට සේවකයන් ප්‍රිය කරනවා. එවැනි ආයතනයක සේවය කිරීමත් අභිමානයක් ලෙසයි ඔවුන් සලකණු ලබන්නේ. 

තමන් සේවය කරන ස්ථානය වෙනස් කරන්නට සේවකයෙක් උත්සහ කරනු ලබන ප්‍රධාන කාරණයක් වන්නේ එම ආයතනයේ ස්ථාවරත්වයයි. විශිෂ්ට ගණයේ ආයතනයකට ආධුනිකයෙකු ලෙස එකතුවන සේවකයා විශ්‍රාම යන තුරුම එම ආයතනයේ රැඳී සිටින්නේ එම ආයතනයේ පවත්නා කෞෂල්‍යයන් නිසායි. තමන්ගේ සේවකයන්ට හොඳින් සලකන ආයතනයක රැඳෙන්නට සේවකයන් කැමැතියි.
අභිමානවත් ආයතනවල සේවකයාගේ තත්ත්වය ඉහළ දැමීම කෙරෙහි ක්‍රියාත්මක වන නිවැරදි ක්‍රමවේද තිබෙනවා. ආයතනයකට ආධුනිකයෙකු ලෙස එකතුවන සේවකයා එම තනතුරේම රැඳී නොසිට රැකියාවේ ඉහළට යන මාර්ගය පැහැදිලිව මෙවැනි ආයතනවල සේවය කරන පුද්ගලයන්ට දෘශ‍යමාන වෙනවා. මෙවැනි ආයතනවල සේවකයන්ට ප්‍රවර්ධනය වීමේ හා අභිප්‍රේරණය වීමේ අවස්ථාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. 

එවැනි ආයතනයක ඉතා පහළම තනතුරකට පැමිණ ඉහළ තනතුරු දරමින් විශ්‍රාම යන අය සිටිනවා.ඕනෑම සේවකයෙක්ට අයිතිවාසිකමක් තිබෙනවා තමන් සේවය කරන ආයතනය පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන්නට හා පසුවිපරම් කරන්නට. ඒ තුළින් සේවකයාට තීරණය කළ හැකියි තමන් එක දිගට එම ආයතනයේ ඉහළ නිලයන් දක්වා ගමන් කරනවාද, නැත්නම් තමන්ගේ ස්ථාවරත්වය සාදාගැනීම සඳහා ඉන් එහාට තවත් ගමනක් යායුතුද? යන්න පිළිබඳව. 

සේවකයෙක් ඉතා කෙටි කාලයක් තුළ ආයතන මාරු කිරීම් ගණනක් සිදු කිරීම උචිතද? 

රැකියාවක ස්ථාවරත්වය තීරණය වන්නේ තමන්ගේ පෞද්ගලික සංවර්ධනය කෙතරම් සිදුවී ඇත්ද යන්න මැන බැලීම තුළයි. කාලීනව ක්‍රම ක්‍රමයෙන් තමන්ට සේවා ස්ථානයට ලබාදිය හැකි දායකත්වය ඉහළ දැමීම හා ඒ තුළින් සේවකයා ලබන උසස්වීම් සඳහා සේවකයාට අවස්ථාවන් ලැබිය යුතුයි.

සේවකයෙක්ට ආයතනයක දීර්ඝකාලීනව රැඳී සිටීමෙන් අත්පත් කරගත හැකි වාසි තිබෙනවා. එය සේවකයාට මෙන්ම සේව්‍යයාට හා ආයතනයටත් ඉතාමත් වාසිදායකයි. අපි සේව්‍යයාට හෝ ආයතනයට ලැබෙන වාසි ගැන අවධානය යොමු කළහොත් දීර්ඝකාලයක් සේවකයෙක් එම ආයතනයේ රැඳී සිටීම Cost effective වෙනවා.

එසේම එමගින් වරින් වර සේවකයන් බඳවා ගන්නට දැන්වීම් පළ කිරීමට, ඔවුන්ව පුහුණු කරන්න, සම්මුඛ සාකචඡා පවත්වන්න ආදිය සඳහා යන වියදම ඉතිරි කරගත හැකියි. ඒ වගේම සේවකයන් දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් එම ආයතනයට අභිමානයක් ලැබෙනවා. එම ආයතනය තමන්ගේ සේවකයන් හොඳින් බලාගන්නවා කියන දේ ඒ තුළින් පෙන්නුම් කෙරෙනවා. ඒ හරහා ශක්තිමත් පාරිභෝගික බැඳියාවක් ඇති කරගන්නට පුළුවන්. 

තමන්ට යම් සේවාවක් කරගැනීමට අවශ්‍යනම් යා යුත්තේ කිනම් පුද්ගලයා වෙතද යන්න පාරිභෝගිකයන් ඒ තුළින් දැනගනු ලබනවා. එවිට පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදෙන්නට ආයතනයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සේවකයන් දීර්ඝකාලීනව රැඳී සිටීමෙන් පාරිභෝගිකයන්ට එම ආයතනය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේම දීර්ඝකාලයක් රැඳෙන සේවකයා එම ආයතනයේ ඉතිහාසය වගේම නෛතික රාමුව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනු ලබනවා. 

ඒ තුළින් අලුත් අයට තොරතුරු ලබාදෙන්නට හැකියාවක් තිබෙනවා. සේවක හා සේව්‍ය අන්‍යෝන්‍ය සබඳතා තර කරගන්නට මේ හරහා හැකියාවක් ලැබෙනවා. ආයතනයක පරණ සේවකයන් රැඳෙනවා කියන්නේ එම ආයතනය වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගත් ආයතනයක් බවට පෙන්නුම් කිරීමයි. 

එනම් සේවකයෙක් රඳවා තබා ගන්නවා යන්නෙන් අදහස් වෙන්නේ එම ආයතනයෙන් සිදු කෙරෙන බල ගැන්වීමක්. පරණ සේවකයන් දැකීමෙන් පාරිභෝගිකයන්ට ලැබෙන පණිවිඩය තමයි එම ආයතනයේ තිබෙන ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය නිසයි සේවකයන් එම ආයතනයේ රැඳී සිටින්නේ යන්න. එවැනි ආයතන සමග තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නට බොහෝ දෙනා ප්‍රිය කරනවා. අවංක හා සහෝදරත්වය හා එකිනෙකා අතර බැඳීමක් තිබෙන සහසම්බන්ධතාවක් පවතින ආයතනයක් ලෙස මෙවැනි ආයතන හඳුනාගනු ලබනවා. 

දිගු කාලයක් එකම ආයතනයක රැඳෙන සේවකයා ගැන අපි අවධානය යොමු කළහොත් එම සේවකයාට ප්‍රවීණයෙකු, විශේෂඥයෙකු වීමට හැකියාවක් ඒ හරහා ලැබෙනවා. අවුරුදු ගණනාවක් එකම කාර්යක එකම විෂයක කටයුතු කිරීම හරහා සේවකයාට ලැබෙන නිපුණත්වය අනුව ඔවුන්ගේ විශේෂඥතාව වැඩිදියුණු වෙනවා. 

නමුත් ඇතැම් ආයතන දීර්ඝකාලීනව ආයතනයේ රැඳෙන සේවකයන් පිළිබඳව ඇතැම් අවස්ථාවන්හිදී අඩු තැකීමක් දක්වනු ලබනවා. මෙය බොහෝ විට පෞද්ගලික ආයතන තුළ දැකගන්නට ලැබෙන්නක්. එනම් ඒ සේවකයා එම ආයතනයේ රැඳී සිටින්නේ ඔහුට හෝ ඇයට වෙන යන්නට තැනක් නැති නිසා බවට ඔවුන් අවතක්සේරු කිරීමක් සිදුකරනු ලබනවා. සේවකයාගේ සුදුසුකම්වලට නොමැතිව පරණ වෙන සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන්නට ඇතැම් ආයතන උත්සහ කරනවා.

එවැනි අවස්ථාවක සේවකයා දැනගත යුතු වන්නේ තමන් සේවය කරන ආයතනයේ තමන් කුමන තනතුර දක්වා යා යුතුද ? ඒ සඳහා කුමක් කළ යුතුද? යන්නයි. තමන්ගේ අභිවෘද්ධිය කුමක්ද කියන දේ සේවකයා වටහා ගතයුතුයි. ඒ හැර රැකියාව මත්තේ ගැටි ගැටී රැඳී සිටිය යුතු නොවේ. රැකියාවක නිරත වන්නේ ජීවත් වෙන්නට බව ඇත්තක් වුවත් රැකියා ස්ථානයේ මැරි මැරී ජීවත් වීම එයින් අදහස් නොවේ. ජීවත්වන කාලය තුළ සුන්දර වටපිටාවක යහපත් මානසිකත්වයකින් තමන්ගේ අභිවෘද්ධිය කරා යන ගමනක් සැලසුම් කරගෙන යන සේවකයාට අතහිත දෙන ආයතනයක රැඳී සිටිනවා විනා තමන්ගේ ගමනට බාධක යොදන ආයතනයක රැඳී සිටීම සේවකයෙකු විසින් සිදුකළ යුතු නොවේ.

තමන් සේවය කරන ආයතනය තමන්ගේ එකම ගැලවුම්කරුවා නොවන බව අපිට තේරෙනවා නම් එතනින් ඉවත්ව යා යුතුයි. තමන් ඉගෙන ගෙන තිබෙනවා නම්, තමන්ට නිපුණත්වයක් තිබෙනවා නම් තමන්ට ඉදිරියට යා හැකි බව පෙනෙනවා නම් තමන්ගේ ගමනට සරිලන ආයතනයක් සොයා ගැනීම සේවකයෙකු විසින් සිදුකළ යුතුයි. මන්දයත් රැකියාවක් යනු අභිමානයක් නිසාවෙන්.  
සේවකයාගේ හැකියාව මත නිසි තැන ලබාදෙන ආයතනයක රැඳී සිටීමයි සේවකයා විසින් සිදුකළ යුතු වන්නේ. 
වර්තමානයේ සිටින තරුණ පරම්පරාව රැකියාවට වහල් වී සිටින ස්වභාවයක් පෙන්නුම් නොකෙරෙයි. ඔවුන් දෙකට නැමීගෙන ආයතනයට සේවය කරන මානසිකත්වයකින් තොර වන අතර, පැරණි සේවකයන් තමන්ගේ රැකියාවට සමුදෙන්න තීරණය කළේ කිහිපවරක් කල්පනා කිරීමෙන් අනතුරුවයි. නමුත් වර්තමානයේ සේවකයන් තාක්ෂණයෙන් හා අධ්‍යාපනයෙන් දියුණු නිසා ඔවුන් අවදානම් දැරීමට අකමැතියි. ඒ වගේම ඇතැම් තරුණ සේවකයන් තමන්ට උපාධියක් තිබුණ පමණින් දිගුකලක් අත්දැකීම් ඇති ප්‍රවීණයන්ට වඩා තමන් ඉහළ බව හිතනවා. එය නොවිය යුත්තක්. 

යම් සේවකයෙක් ඉතා කෙටි කාලයක් තුළ රැකියා ස්ථාන කිහිපයක්ම මාරු කිරීම නොවිය යුත්තක්. කළමනාකරණයේ පවතින නියමයන් හා ප්‍රශස්ථයන්ට අනුව අවුරුදු 05කට වරක්වත් සේවකයෙක් එකම ආයතනයක රැඳී සිටියත් තමන්ගේ ජීවිතයේ අලුත් කරගත යුතුයි. 

එනම් තමන්ගේ තනතුරේම  එකම තලයේ රැඳී නොසිට වෙනත් අවස්ථාවන් ලබා ගැනීමට උත්සහ දැරිය යුතුයි. මාස හයෙන් අවුරුද්දෙන් තමන්ගේ සේවා ස්ථාන මාරු කිරීම විය යුත්තක් නොවේ. සම්මුඛ පරීක්ෂණයකදී බොහෝ විට සේවකයෙකු පෙර ආයතනවල කොපමණ කාලයක් රැඳී සිට ඇතිද යන්න පිළිබඳව සොයා බලනු ලබනවා. එයට කෙටි කාලයකදී රැකියා මාරු කිරීම අවාසිසහගතව බලපෑමට පුළුවන්. අවම තරමේ අවුරුදු 4ක් 5ක්වත් එකම ආයතනයක රැඳී සිටීම කාලෝචිතයි. අවුරුදු 5ක් සේවය කිරීමෙන් ලැබෙන පාරිතෝෂිකය ලබාගන්නටවත් සේවකයෙකුට හැකියාවක් තිබිය යුතුයි. නමුත් තමන් ගන්නා තීරණය හේතුවෙන් ජීවිතයේ විශාල වෙනසක් සිදුවෙනවා නම් ඒ තීරණය ගත යුතුයි.

දීර්ඝ කාලයක් එකම ආයතනයක රැඳීමට අදහස් කරන සේවකයෙකු කළ යුත්තේ කුමක්ද?

ඕනෑම සේවකයෙකුට තිබෙන එකම විසඳුම තමයි නොනවත්වා අධ්‍යාපනය ලැබීම. අධ්‍යාපනයෙන් තොරවූ වෘත්තියක් නැහැ. යම් සේවකයෙක් යම් ආයතනයක ස්ථාවරත්වයක් බලාපොරොත්තුවෙනවා නම් තමන්ගේ පළපුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද ගොඩනගා ගන්නවා වගේම තමන්ගේ විෂය පථයට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම්වලින්ද ඉදිරියට යා යුතුයි.

විශේෂයෙන්ම වර්තමානයේ සෑම ආයතනයකම බලන දෙයක් තමයි සේවකයාගේ සාමූහික සහභාගිත්වය කෙබඳුද යන්න. ඒ වගේම විවිධ වයස්වල අය සමග ගැටීමෙන් වැඩ කරන්නේ කෙසේද ? යන්නත් සොයා බලනු ලබනවා. මේ නිසා තමන් තුළ පවතින අධ්‍යාපනික සුදුසුකම් ඉහළ දමා ගන්නවා වගේම තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීමත් අත්‍යවශ්‍යයි. තමන්ගේ රැකියාව තුළ ඉදිරියට යාමට මාර්ගයක් තිබෙනවා නම් ඒ මාර්ගයේ ඉදිරියට යෑමට අරමුණක් ඇති කරගත යුතුයි. එ සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගන්නා සේවකයාට තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වයක් පහසුවෙන් ගොඩනගාගත හැකියි.

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment