උපන් රටේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති අතර සමෘද්ධිය යනු මේ වනවිට ජාතික මට්ටමේ යෝධ රාජ්‍ය ව්‍යාපෘතියකි. මහනුවර දිස්ත්‍රික්කයේ සමෘද්ධි අධ්‍යක්ෂවරිය ලෙස මුල් පුටුව හොබවන්නේද කාන්තාවකි. ඇය කුමුදුනී ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.  ( BA.Pera),SLAS

මම මාතලේ ගලේවෙල, මාදිපොල මහා විද්‍යාලයෙන් මූලික අධ‍ාපනය ලැබුවා. එයින් පසුව පහේ ශිෂ්‍යත්වය සමත්ව. මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. කලා අංශයෙන් අධ්‍යාපනය ලබනවා. පාසලේ හැම කටයුතුවලටම සම්බන්ධ වුණත් මම බොහෝ නිහඬ චරිතයක්.

කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිටිනවා. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ ප්‍රතිඵල එනතෙක් මම ගමේ සමිති සංවිධානවල විවිධ තනතුරු දැරුවා. දහම් පාසලේ ගුරුවරියක් හැටියට කටයුතු කළා. මම සමාජය සමග එක්වී කෙරෙන පොදු කටයුතුවලට එදත් හරි කැමැත්තක් දැක්වූවා. ඒ කැමැත්ත අද මගේ රැකියාවෙත් පදනම වෙලා.

ඔය අතර ලිපිකරු විභාගයක් තිබුණා. මම එයට  ඉල්ලුවා. විභාගය සමත් වුණා. මහනුවර කම්කරු කාර්යාලයේ ලිපිකාරිනියක් හැටියට 1993 පත්වීම ලබාගෙන එනවා. ඒක මට තෘප්තිමත් රැකියාවක් වුණා. වැඩකරන මිනිසුන්ගේ දහදියට  රාජ්‍ය සේවකයෙක් හැටියට යම් සාධාරණයක් කරන්න උදව් වෙන එකත් ලොකු පිනක් කියන එක මම හැමදාම හිතපු දෙයක්.  ඩබ්ලිව්.කේ ප්‍රේමචන්ද්‍ර කියන්නෙ මගේ අප්පච්චි. විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. අම්මා ගෘහණියක්. මට සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා.  මම ගුරුවරියක් වෙනවා දකින්න අප්පච්චිට කැමැත්තක් තිබුණා. එනිසා මම විද්‍යාපීඨ ගුරු විභාගයට ඉදිරිපත් වුණා. සමත් වුණා. ඒත් වීද්‍යාපීඨයට ඇතුළත් වීමට තියෙන්නේ හෙට කියලා අද අප්පච්චිගේ මිතුරෙකු අපේ ගෙදරට ආවා. මම විද්‍යා පීඨයට ගියොත් විශ්වවිද්‍යාලයට  යාමට ඇති අවස්ථාව අහිමි වෙන බව ඔහු  පැහැදිලි කළා. අප්පච්චිගේ කැමැත්තට මම විරුද්ධ වුණේ නැහැ. අනික මට එහෙම විශාල බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. ලැබෙන දෙයින් සතුටු වෙනවා. හැබැයි තමන්ට ඉලක්කයක් තිබිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. මමත් විරුද්ධ නැතිනම්, දෙමවුපියන්ද එකඟ නම් ඒ  අදහසට  මුල් තැන දුන්නා.

1998 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී BA උපාධිය හදාරනවා. මට විශ්වවිද්‍යාලය පැත්තෙන්, ගුරුවරුන්ගෙන්, සහෝදර ශිෂ්‍යයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. රාජකාරිය අතපසු නොකර කරන අතරේ එයට අවශ්‍ය සහයෝගය ආයතනය පැත්තෙන් ලැබුණා. ඒක විශේෂයෙන් කිව යුතු දෙයක්.

මම හිතන්නේ අද සමහර අය කියනවනේ අපිට කැපිල්ල දානවා, සහයෝගයක් නැහැ කියලා. මට එහෙම වුණේ නැත්තෙ මම ඒ අය සමග සම්බන්ධතාව තියාගෙන හොඳ හිත දිනාගෙන කටයුතු කරපු ආකාරය අනුව කියලයි. එය මම මගේ රාජකාරියේ අදටත් ගළපා ගන්න දෙයක්. ඒ විතරක් නෙවෙයි, මගේ නිලධා‍රීන්ටත් කියාදෙන දෙයක්. 1998 උපාධි ප්‍රදානත්වයෙන් පසු කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට  මාරු කළා. නැවත මාරුවක් හදාගෙන නුවරට ආවා. ඒ අතර  ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා විභාගය(SLAS) ගැසට් කරනවා. මට සීමිත සහ විවෘත යන අංශ දෙකෙන්ම ඉල්ලන්න සුදුසුකම් තිබෙන නිසා මම එහෙම කරනවා.  තේරෙන්නේ සීමිත විභාගයෙන්. එයින් පස්සෙ මට 2000දී නාරාහේන්පිට රථවාහන දෙපාර්තමේන්තුවට පත්වීම ලැබෙනවා. ඒත් එතැනට මට හිත දුන්නේ නැහැ. මම සුහද මාරුවකින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක හැටියට එතැනින් මාරු වෙනවා.

මම  2004දී  විවාහ වෙනවා. ඔහු සුසිල් ප්‍රේමචන්ද්‍ර. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති හැටියට සේවය කරනවා. ඒ දවස්වල කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ රැකියාව කළේ. අපි දෙන්නට දූවරුන් දෙදෙනෙකු ඉන්නවා. ලොකු දුව දුලක්ෂි. පොඩි දුව මහේෂි. දෙන්නම දැනට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපේ ගෙදර වැඩකටයුතු කරගන්නේ අපි දෙන්නා. අපිට වැඩකාරයෝ නැහැ. මටත් වඩා සැමියා ගෙදර කටයුතු, ළමයින්ගේ කටයුතු ගැන හොයනවා. ඒක මට ලොකු ආශීර්වාදයක්. මම රාජකාරිය හැටියට ක්ෂේත්‍රයේ ගිහින් එනකොට සමහරදාට රෑ හත අට වෙනවා. ඒ වෙලාවට උයනපිහන කටයුතු, ළමයින්ගේ පාඩම් කටයුතු පවා සොයා බලන්නේ මගේ මහත්තයා.

මම  එයින් පස්සෙ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීම ලබනවා. 2005දී දුව ලැබෙනවා. ඒ අතර  කුණ්ඩසාලෙ  ප්‍රාදේශීය ලේකම් හැටියට මාරුවක් ලැබෙනවා. මධ්‍යම පළාත්  සභාවේ පිරිස් සහ පුහුණු අංශ‍යෙත් කටයුතු කරනවා. 2006දී මධ්‍යම පළාතේ පරිවාස කොමසාරිස් තනතුර පුරප්පාඩු වීම නිසා එම තනතුර භාරගන්නවා. 2012දී මධ්‍යම පළාතේ පරිවාස සහ සමාජ සේවා අංශ දෙක එකක් බවට පත්වෙනවා.

2016දී හදබිම අධිකාරියට ද්විතීයීක පදනම මත පත්වෙනවා. විධායක අධ්‍යක්ෂ තනතුරට පත්වෙනවා. එහෙම යනකොට 2018 සැප්තැම්බර් මාසයේදී දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස මේ තනතුර භාරගන්නවා. මම රාජකාරියෙන් තෘප්තිමත්. මම වැටුපක් ගන්නා අතරම පුණ්‍ය කටයුත්තකට දායක වෙනවා වගේ දැනෙනවා. අඩු ආදායම්ලාභීන් සමග ඔවුන්ගේ ජීවිත ගැන කතා කරන්න ලැබීම සතුටක්. 

මගේ ජීවිතයේ අභියෝගයන්ට මුහුණදුන් අවස්ථා හැටියට මට මතක් වන කරුණු දෙකක් තියෙනවා. එකක් ගමේ පාසලේ සිට හයවන ශ්‍රේණියට  උසස් පාසලකට නගරයට පැමිණීම. ගමේ පරිසරයට හුරු වූ මට නගරය ගැන ඒ වයස හැටියට ඇතිවුණේ පුංචි බයක්. අනෙක රැකියාව කරන අතර විශ්වවිද්‍යාලයේ උපාධියට පෙනී සිටීමෙන් දෙකම කරගන්න බැරිවේදැයි මගේ හිත මට දුන් පණිවුඩය. ඒත් එය මම දෙපැත්තම සමබර කරගෙන ඉටු කරගත්තා. එනිසා අද  මෙතැන ඉන්නවා.

මට ආයතනික වශයෙන් ලබපු අත්දැකීම් සමුහයක් තියෙනවා. මම අයිතීන් ගැන කතාකරන එකට විරුද්ධ නැහැ. ඒත් තමන්ගේ රාජකාරි වගකීම් හරියට ඉටුකරනවා නම් තමන්ගේ අයිතිවාසිකම් ඉබේම තහවුරු වෙනවා කියන එක මම හිතනවා. ඒ ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. එනිසා රාජ්‍ය සේවය බොහෝවිට ජනතාව අතරද චෝදනාවන්ට ලක්වෙනවා. සේවාවක් ලබාගැනීමට එන මිනිසුන්ගේ ඇඟට කඩාපනින්නේ නැතිව ඔවුන්ට අවශ්‍ය දේ එදාම කිරීමට තියෙන ඉඩකඩ හොයාගෙන ඒවා ප්‍රයෝජනයට ගන්න කියලා මම මගේ කාර්ය මණ්ඩලයට උපදෙස් දීලයි තිබෙන්නේ.

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment