අඩුම තරමින් දිනකට ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන සහ නේවාසිකයන් ලක්ෂ එකහමාරක ජනගහනයක් පදිංචි  සුන්දර මහනුවර මහ නගරයේ පරිපාලන කටයුතු හිතට ගත්  දිලීපා රූපානි පියදාස මහත්මිය SLAS.(Class1), Msc(Australia),  Msc(Bio Technology),Bsc(Sp) botany එහි නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය ලෙස කටයුතු කරයි.

බදුල්ල විහාරමහාදේවි ප්‍රාථමික විද්‍යාලයෙන් මම මගේ ජීවිතයේ මූලික අධ්‍යාපන ලැබුවා. ශිෂ්‍යත්වයෙන් සමත් වුණා. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතුවල යෙදුණා. මම පාසල් ජීවිතයේ නිහඬ චරිතයක්. ක්‍රීඩාවට යොමු වන්නේ නැහැ. ඒ අම්මා තාත්තාගේ අනුබලය නිසා. ඒ අය දක්ෂ ක්‍රීඩකයන් හැටියට ජනප්‍රිය වෙලා හිටියා. අම්මා චිත්‍රා සිල්වා. එයා රනර් කෙනෙක්. තාත්තා පාලිත පියදාස. තාත්තා ෆුට්බෝල්වලට නම ගත් කෙනෙක්. අම්මා ගුරුවරියක් හැටියට රැකියාව කළා. තාත්තා නම් ලිපිකරු වෘත්තිය කළේ.

උසස් පෙළට පසු ගෙදරට වී කාලය අපතේ හැරියේ නැහැ. මැහුම් පන්තියකට ගියා. මට රියැදුරු බලපත්‍රයක් අරගෙන දෙන්න උවමනාව තාත්තට තිබුණා. ඒකත් කළා. උසස් පෙළ සමත් වී 1994 රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. උද්භිද විද්‍යාව පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධිය ලබා ගන්නවා. මම පළමු රැකියාව හැටියට ගුරු වෘත්තිය කළා. ඒ අනුව පාසල් දෙකක උගන්වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිඵල ආවට පස්සෙ ඒ විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක හැටියට කටයුතු කරනවා.  මට ජෛව තාක්ෂණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලැබෙනවා. පේරාදෙණිය කෘෂි පීඨයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යාපනය ලබනවා.

ඒ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය 2003 සමත්ව පළමු පත්වීම හැටියට බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් බවට පත්වීම ලැබුවා. මගේ උපන් ගම සහ පුරුදු පරිසරය මට අමුතු සතුටක් ගෙනත් දුන්නා. මගේ පියා මා ගුරුවරියක වෙනවාටත් වඩා, ඔහුගේ අපේක්ෂාවන්ට දරුවෙකු හැටියට මම සාධාරණය ඉටුකරන ආකාරය ගැන සතුටු වුණා. දියණියක හැටියට දෙමවුපියන්ගේ අපේක්ෂාවන් සතුටු කිරීමට හැකි වීමේ සතුට මමත් වින්දා.

2005දී ඵලදායිතා සම්මානය මගේ ආයතනය දිනා ගත්තා. මට යමක් කළ හැකි බව අපේ ඉහළ නිලධාරීන් පිළිගත්තා. එනිසා වරක් මට ලංකාවේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් අමතා ඒ ජයග්‍රාහී  ගමන ගැන පැහැදිලි කරන්න අවස්ථාව ලැබීමත් ජයග්‍රහණයක්. මගේ පළමු අංශ ප්‍රධානී එම්.ඒ.එච්. සිල්වා මහත්මයා බදුල්ල ප්‍රාදේශීය ලේකම් හැටියට කටයුතු කළා. මගේ දෙවන අප්පච්චි හැටියට මම ඔහුට ගරු කරනවා. ඔහු මට හැමදාම ගුරුහරුකම් දුන්නා. අද අලුත් පරපුරේ වැඩිදෙනා ඉහළ නිලධාරීන්ගේ අදහස් යෝජනා චෝදනා දකින්නේ විරසකයක් හැටියට. ඒ දැක්ම හෙට ඔවුන්ගේ පැවැත්මට කොහොම බලපායිද කියන සැකය මට තියෙනවා. දන්නා කෙනෙක්ගෙන් නොදන්නා යමක් අසා දැනගැනීමේ සතුට මම ලබනවා.

මගේ මහත්තයා ඒ.ජී.කරුණාරත්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට දැන් කටයුතු කරන්නේ. ඒ දවස්වල කථිකාචාර්යවරයෙකු හැටියට වැඩ කළා. අපිට පුතුන් දෙදෙනයි. ලොකු පුතා නෙතුජ. බාලයා නෙත්මිර. 

විවාහයෙන් පස්සෙ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති පිළිබඳ විදේශ ශිෂ්‍යත්වයකින්  ඔස්ට්‍රේලියාවට යනවා. පළමු ලොකු පුතා නෙතුජ ඉපදෙන්නේ එහෙදී. මගේ ජීවිතයේ කම්පනය කනස්සල්ල ඇතිවන දරාගත නොහැකි කාලයක් යෙදෙනවා. ලංකාවට පැමිණෙන විට පුතාට මාස දෙකක් ඇති. පුතා හදිසියේ අසනීප වෙනවා. මහත්තයා වැටුප් රහිත නිවාඩු ලබාගෙන හිටියේ. දරුවා නිසා මටත් වැටුප් රහිතව ඉන්න වුණා. ඒත් අපි කාටවත් ණය වුණේ නැහැ. ජීවිතය තුළ අරපිරිමැස්මෙන් එකතු කළ මුදල් තිබුණා. එනිසා ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා.

මම වැටෙන්නට යන හැම තැනකම මා අල්ලා ගත්තේ මගේ හස්බන්ඩ්. අදටත් හිත සැලෙන තැනකදි ඒ හිත ශක්තිමත් කරන්නේ එයා. මම හිතන්නේ ඒක එයාගේ ආදරය වගේම පරිණත බව කියලයි. පවුල් ජීවිතයක ස්වාමියා එහෙම භූමිකාවක් විය යුතුයි කියන දේ මම විශ්වාස කරනවා. ඒ අතරදීම මම ජීවිතය සමබර කර ගැනීමේ අගය තවත් පාඩමක් කරගත්තා. මම දැනටත් ලැබෙන හැම අවස්ථාවකම දරුවන් සමග බස් එකේ යනවා. සාමාන්‍ය මිනිසුන් අතර පොදු චරිතයක් හැටියට පුරුදු කරනවා. එහෙම නැති වුණොත් මේ අය අනාගත සමාජයට කොහොම මුහුණදෙයිද කියන බය  සාධාරණයි. මුහුණදිය යුතු අපහසුතා සහ දුකසැප ගැන කියලා දෙනවා. දැන් මගේ තාත්තා මිය ගිහින්. එදා මගේ ජීවිතයේ මා දුටු වීරයා අද මා සමග නැහැ. 

2014දී  උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබෙනවා. ටික කලකින්  මෙම තනතුරට පත්වෙනවා. මම වෘත්තියෙන් අදට ඉහළ තැනක හිටියත් ගැටලු අර්බුද සමග ජීවත් වන කෙනෙක්. ඒවායින් පලා යන්නට උත්සාහ කරන්නෙ නැහැ. වැඩි කාලයක් ගැමි ජීවිත ඇසුරු කරමින් ප්‍රාදේශීය පරිපාලන සේවයක යෙදුණු මම දැන් නියෝජ්‍ය නාගරික කොමසාරිස් හැටියට කටයුතු කරනවා. මගේ ඉහළ කළමනාකාරීත්වයෙන් ලැබෙන සහයෝගය අගය කරනවා. එදා ගැමියෙකුට රාජකාරිය ඉටු කර දෙන්න ප්‍රතිපාදන  නැතිවුණත්  ඒ දේ පැහැදිලි කළොත් ඒ අය අපි කියන දේ පිළිගෙන දෑත එක්කර ආචාර කරලයි පිටත් වන්නේ. නාගරික සමහරු  එන්නේ අපි වරදක් තියාගෙන හංඟන්නට උත්සාහ කරන විදිහට. නැත්නම් රාජ්‍ය සේවකයෝ බොරුකාරයෝ මිනිසුන් රවටනවා කියන පූර්ව ආකල්පයෙන්.

එදා විද්‍යාඥවරියක් වෙන්න හීන මවපු මම ගෙදර ලයිට් වැඩ කළා. සමහර උපකරණ ගලවලා එකම විද්‍යුත් පරීක්ෂණාගාරයක්. මෙහෙම ගියොත් කාටහරි විදුලිසැර වදිනවායි ගෙදර අය කීවා. එහෙම මම අද හිත්පිත් නැති ෆයිල් ගොඩකට මැදිවෙලා. ඒත් ඒ අතර තියෙන්නේ මිනිසුන්ගේ සැබෑ ඕනෑ එපාකම් කියලා දකිනකොට පුදුම සතුටක් දැනෙනවා. හිත් රිදෙන තැනකදී මේක මගේ කර්ම ශක්තිය කියලා හිත හදාගන්වා මිසක් කාටවත් චෝදනා කරන්නේ නැහැ. හැම ගැටලුවකම උත්තරය අත ළඟයි කියලා ඒ ප්‍රශ්නය තුලනය කර ගන්නවා.

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

 

0 comments

Leave a Reply

Post Comment