එදා උයන්වත්ත ගුරු විද්‍යාලය ලෙස හැඳින් වුණ, අද මතු පරපුර වෙනුවෙන් වසරකට ගුරු සිසුසිසුවියන් දහස් ගණනාවකට අධ්‍යාපනය ලබාදෙන මහනුවර, පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිනිය ලෙස මුල් පුටුව දරනුයේ ශ්‍රීමතී සමරකෝන් මහත්මියයි. (BSc,  PGDE, Med, MSc, PGD(IT), PGDEM, Dip in English) ඇය අප සමග මෙසේ අදහස් දැක්වූවාය.

''මගේ ළමා කාලය ගෙවෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මැදවල, උඩුකිඳ කියන සුන්දර ගම්මානයේ. මම ඔහීය විද්‍යාලය, දංගමුව මහා විද්‍යාලය, සහ මැදවල මහා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලැබුවා. එයින් පස්සේ වැලිමඩ මහා විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ ප්‍රතිඵල අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට 1981 තේරෙනවා. උපාධි ප්‍රතිඵල ලැබුණාට පස්සේ පළමු රැකියාව හැටියට මාතලේ සුළුඅපනයන භෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරිනියක් හැටියට පත්වීම ලැබෙනවා. ඒ දවස්වල රටේ තිබුණ යම් කලබල තත්ත්වයත් නිසා අප්පච්චි මම මාතලේ යනවට කැමති වුණේ නැහැ. මගේ වැඩි කැමැත්ත තිබුණෙත් ගුරුවරියක් වෙන්න. ඇයි අපේ පරම්පරාවේ වැඩි දෙනෙක් ගුරුවරු නිසා.

ඒ ආශාව ඉටු වෙමින්  උපාධිධාරී ගුරුවරියක් හැටියට මැදවල මහා විද්‍යාලයට පත්වීම ලැබුණා. ගුරුවරියක හැටියට කටයුතු කරන අතර පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවට තෝරාගෙන පේරාදෙණිය පශ්චාත් උපාධි පාඨමාලාවට සඳහා පැමිණීමට සිදුවුණා.
මගේ උපත සිදුව ඇත්තේ කටුගස්තොට රෝහලේදී. අද මම ඒ රෝහල අසළ  මහවැලි විද්‍යාපීඨයේ පීඨාධිපතිනිය බවට පත්වෙලා. නම එච්.එස්. ආරියදාස. දැනට විශ්‍රාමික ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරියෙක්. ගිරාගම ගුරු විද්‍යාලයයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු හැටියට කාලයක් කටයුතු කළා.

1992 වසරේදී අපි විවාහ වෙනවා. අපි දෙන්නා දෙපැත්තේ හිටිය නිසා එක වහලක් යට ජීවත්වෙන්න ගිරාගම ගුරු විද්‍යාලයයේ නිල නිවාසය තේරා ගත්තා. මවුපියන්ගෙන් ඈත්වෙලා එන්න තිබුණු දුක තාමත් මතකයි. 1994 වර්ෂයේදී දුව තිළිණි ඉපදුනා. මම පිළිමතලාව ධීරානන්ද පාසලට මාරුවක් ගත්තා. දෙවැනි දුව සචිනි උත්පලා 1996 වර්ෂයේදී ලැබුණා. මම විදේශ අධ්‍යාපනය අවසන් කර එනතුරු මහත්තයා ඒ දරුවන්ගේ කටයුතු නොපිරිහෙලා ඉටු කළා. කවදාවත් මට ඇති අවස්ථාවන් ඔහු අහිමි කළේ නැහැ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කොතැනදැයි කවුරු හරි ඇහුවොත් දෙන සරල ‍උත්තරය මගේ මහත්තයා කියන එකයි. උපාධි පාඨමාලාව අතර, ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබෙනවා. එයින් පස්සේ කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා මට විදෙස්ගත වීමට සිදුවුණා. මට ශ්‍රී ලංකා විදුහල්පති  ශ්‍රේණියේ තනතුරක් 1999 වසරේදී ලැබුණත් මම එය ප්‍රතික්‍ෂේප කළේ මම විද්‍යාපීඨ ආචාර්යවරියක හැටියට තේරෙයි කියන විශ්වාසය හේතුවෙන් තිබුණු සූදානම නිසා. එයත් මගේ එක් සිහිනයක්.

ඒ වගේම ඒ අපේක්ෂාව ඉටුවුණා. 2000 වර්ෂයේදී රුවන්පුර  ජාතික විද්‍යාපීඨයට පත්වීමක් ලැබුණා. මහත්තයාටත් පේරාදෙණිය ගුරු විද්‍යාලයේ විදුහල්පති හැටියට පත්වීම ලැබුණා. මහත්තයා ඒ වනවිට යුද හමුදාවේ කැඩෙට් නිලධාරී කෙනෙක්. නීතිය හදාරමින් සිටියේ. මම රුවන්පුර. මහත්තයා පේරාදෙණියේ. අපි පදිංචිය වෙනස් කළා. ඒ අතර ජපානයේ 'ජයිකා' ව්‍යාපෘතියක් වෙනුවෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. අවම වැයක් භාවිත කර පන්ති කාමර උපකරණ නිර්මාණය එහි තේමාව වුණා. ලංකාවට ආවත් මගේ චූටි දුව මොන්ටිසෝරි යන වසසේ.

ලොකු දුව මා එක්ක පාසල් ගොස් මගේ කටයුතු ඉවර වෙනතුරු එතැන සිටියා. එත් මවුපියන්ගෙන් ලැබුණු ආදර්ශය, පුහුණුව නිසා මම හැම අභියෝගයක්ම ඉවසීමෙන් භාර ගත්තා. රාජකාරියට ඒවා බාධාවක් කරගත්තේ නැහැ. අද තියෙන්නෙ සංක්‍රාන්ති සමයක්. ඒක එක එක්කෙනා එකඑක විදිහට කතා කළාට මම අද රැකියව තුළ ලබන අත්දැකීම් අනුව, මෙය ගෙදරටත්, ගුරුවරුන්ටත් පැවරුණු සමාජ ආකල්ප සහ චර්යාවන් පිළිබඳ වෙනසක අවශ්‍යතාවක් හැටියට මම දකිනවා. අද පහසුකම් වැඩියි. තාක්ෂණය ඉදිරියට ගිහින්. දරුවන් අතර සන්නිවේදන අවස්ථා වැඩියි. එත් මේ දේ යහපත් අතට පත් කරගත්තා නම් කියන තැන එදාමෙදා සිදුවෙමින් පවතින සංක්‍රාන්තිය තුළ මම දකින සාධකයක්.

මම 2000දී රුවන්පුරෙන් පේරාදෙණිය ගුරු විද්‍යාලයට ආවා. ජපානයෙන් ඇවිත් ආයෙත් කැනඩාවේ %යෝක්^ විශ්වවිද්‍යාලයට විද්‍යා අධ්‍යයනයන් සඳහා ගියා. මම 2001 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා පේරාදෙණිය ගුරු විදුහලේ කථිකාචාර්යවරියක හැටියට විද්‍යාව, අධ්‍යාපන තාක්ෂණය ඉගැන්වීම කළා. මහත්තයායි විදුහල්පති හැටියට කටයුතු කළේ. මම හැම වෙලාවෙම මහත්තයාගේත්, පීඨයේත් ගෞරවය රැකෙන පරිදි පෞද්ගලිකත්වය බැහැර කර කටයුතු කළා. රාජකාරිය  කොලේජ් එකට අරගෙන ගියේ නැහැ. මේ අතර පේරාදෙණිය ජාතික විද්‍යාපීඨය බවට පේරාදෙණිය ගුරු විද්‍යාලය රජය විසින් පත්කරනු ලබනවා. එහෙම වෙනකට මගේ මහත්තයා පේරාදෙණිය ගුරු විදුහලේ අවසාන විදුහල්පති සහ පේරාදෙණිය විද්‍යා පීඨයේ පළමු පීඨාධිපති බවට පත්වෙනවා.

සොයාගෙන ගොස් ඉගෙන ගැනීමේ වුවමනාවක් මට තියෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයි කියනවාට වඩා මම හිතන්නේ අපි යම් වෘත්තියක යෙදෙනකොට වෘත්තීයමය විය යුතුයි කියලයි. ඒ නිසයි ජපානයේ 'ඔබිහිනෝ' (Obihino) විශ්වවිද්‍යාලයේත්, කැනඩාවේ 'යෝර්ක්' සරසවියේත් (York) මැලේසියාවේ 'උට්ට්‍රා' සරසවියේත් ( Uttara) අවස්ථා මට ලැබෙන්නේ. මම හැම කෙනකුටම කියන්නේ අවස්ථා බහුලයි ප්‍රයෝජන ගන්න කියලායි. මම හරියට මෙයට අවුරුදු දෙකකට ඉස්සරවෙලා ඒ කියන්නේ 2018 මාර්තු 2 වැනිදා මහවැලි  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිඨාධිපතිනිය බවට පත්වුණා. මගේ අනාගත අපේක්ෂාව, ඉලක්කය, මගේ අධිෂ්ඨානය සහ කැපවීම නිසා ඉෂ්ට වුණා.''

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment