මධ්‍යම පළාතේ අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු කිහිපයක විවිධ තනතුරු දරමින් ඇය තම අභියෝගාත්මක වෘත්තීය වපසරිය තුළ තම වගකීම් ඉටුකළාය. එල්.ඒ. සුජාතා විජේසිංහ (SLAS), BSc (Zoo)special, P.G.D.E, M.sc(Agri Economics) මහත්මිය අප සමග අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

ගුරුවරයෙකු, පරිපාලන සේවා නිලධාරියෙකු, පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු විවිධ තනතුරු ගණනාවක මම රාජකාරියේ නිරතව තිබෙනවා. මම ඉතින් වැඩි ප්‍රචාරයට තියා මගේ ඡායාරූපයක් පත්තරයේ පළ කරනවාටවත් කැමති නැති තරම්.

මම පළමු පන්තියේ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබුවේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් පෙළ සමත්වීමෙන් අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය තෝරා ගත්තා. එයින් මම 2 වැනි පන්තියේ විද්‍යාවේදී සාමාර්ථයක් ලබාගත්තා. ත්‍රිත්ව විද්‍යාලයේ රසායන විද්‍යාව ගුරුවරයෙකු ලෙස 1990 -1995 කාලය තුළ සේවය කළ අවධිය මගේ වෘත්තීය ජීවිතයේ ඉතා ඉහළ තෘප්තියක් ලැබූ කාලයක් කියලයි මට හිතෙන්නේ. 

වෘත්තීය ජීවිතයේ රාජ්‍ය පළාත් සභා තනතුරු කිහිපයක කටයුතු කර තිබෙනවා. මම කලක් මධ්‍යම පළාත් සභාවේ පරිවාස සහ ළමාරක්ෂක කොමසාරිස් ලෙසත් කටයුතු කළා. අවුරුදු එකහමාරක් විතර මම එහි රාජකාරිය කරපු කාලයේ ළමා නිවාසවල ළමයින් කුලවැද්දීම කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු සතුටක්. අනෙක් පැත්තෙන් පිනක්.

පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලයේ සහකාර ලේකම් හැටියට අවුරුදු හතක් විතර සේවය කළා. පසුව ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් අවුරුදු තුනක් විතර මම කටයුතු කර තිබෙනවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් අවුරුදු 4ක් විතර සේවය කළා. එයින් පස්සේ උකුවෙළ සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කෙටි කාලයක් රාජකාරි කටයුතු කළා. එතැනින් වත්තේගම ප්‍රාදේශීය ලේකම් හැටියට මාරුවක් ලබා අවුරුදු හතරහමාරක් වැඩ කළා. පොල්ගොල්ල ජාතික සමුපකාර ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත්වීම මගේ සේවා කාලය තුළ තවත් අත්දැකීමක් වුණා. මම ඒකටත් හරි කැමැත්තකින් සම්බන්ධ වුණේ. එහි සිසුන්ගේ අධ්‍යාපනය උපාධියක් දක්වා ගෙනයන තැනට ක්‍රියා කරන්නට අවශ්‍ය කටයුතුවල යෙදුණා.

එයින් පස්සේ මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් ධුරය දැරුවා. පළාත් රාජ්‍ය සේවා ලේකම් තනතුරට පත්වුණා. ඊළඟට දැනට දරන මේ ලේකම් තනතුරට පත්වුණා.  ආයතන ගණනාවක විවිධ තනතුරු දරමින් තිස් වසරකට ආසන්න කාලයක් කටයුතු කරනවා. මෙතැනත් අත්දැකීම් පිරි තැනක්. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන්නේ ඇත්තෙන්ම හොඳ තැනක්. එහි ගතකළ කාලයත් හරිම තෘප්තිමත්. සේවකයන්ගේ විනය ප්‍රශ්න, රාජකාරි අර්බුද පිළිබඳව සහනශීලී විසඳුම් සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එහිදී මට අවස්ථාව ලැබුණා.

දැන් දරන විෂයයටත් මම කැමතියි. පුරන් කුඹුරු අස්වැද්දීම සහ අපේ දේශීය ගොවිතැන් ක්‍රම ව්‍යාප්තිය ගැන හිතෙනකොට සතුටක් ලැබෙනවා. ඒ ගැන ජනතාව සමග කටයුතු කිරීමට ලැබීම අගය කරනවා. රටේ තරුණ අය, දකින දකින දේ ආහාරයට ගැනීම හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට බලවත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ශරීරයට අහිතකර දේ වෙනුවට අපේ සහ තමන්ගේ ගෙවත්තේ වවාගත් දෑ ආහාරයට ගැනීමට යොමු වෙන්න කියන ඉල්ලීම මම කරනවා.

මම හැමවිටම 'පරිසර හිතකාමී, වසවිසෙන් තොර' යන සංකල්පය රැකගැනීම පිළිබඳව හිතනවා. ගෙදරට අවශ්‍ය මිරිස් තුනපහ ටිකත් හොඳට වේළා නිවසේදීම කුඩු කර ගන්නවා මිස කඩෙන් ගෙනෙන්නේ නැහැ. එය ලැබෙන පහසුවට වඩා වැඩි අවදානමක්.
රැකියාවක් කරන කාටත් අභියෝග නැතිවා නොවෙයි. මම අභියෝග ආවත් අභියෝගවලට අභියෝග කරමින් පැවරී ඇති රාජකාරිය ඉටු කරනවා. පිනට දහමට, ආගමට, බෞද්ධ දර්ශනයට මා කැමතියි. ඒ නිසාම හැම ආගමකටම එකවගේ ගරු කරනවා. මා ප්‍රසිද්ධියට අකැමති වන්නේද මගේ මේ සරල දිවි පෙවත නිසයි.

ආයතනය තුළ මම තනි තීරණ ගන්නේ නැහැ. කාමරයක් වෙනස් කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අදාළ හැම දෙනාගේම මතයට අවස්ථාව දෙනවා. ඔවුන් පරිපාලනයට දායක කරගනිමින් ඔවුන්ට ඒ අත්දැකීම් ලබාදීම මගේ අරමුණයි. හැම වෙලාවෙම මෙතෙන්ට එන සේවාලාභීන්ට තමන්ට හැකි පමණ ඒ කටයුතු ඉටු කළ යුතු ආකාරය ගැන ඔවුන් සමග සාකච්ඡා කරනවා. අපෙන් පස්සේ මේ වගකීම් දැරීමට ඒ අයත් පුහුණු විය යුතුයි.

මගේ මහත්මයා කලින් මහවැලියේ රැකියාව කළා. ඔහු දැන් තමන්ගේම ව්‍යාපාරික කටයුතුවල  යෙදෙනවා. පුතා නීති ක්‍ෂේත්‍රයේ පශ්චාත් උපාධියත් කරලා දැන් නීති වෘත්තියක යෙදෙනවා. මට දුවෙකුත් ඉන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමෙන් අනතුරුව එය ලබාදුන් මිනිසුන්ට සේවය කර, රටට බරක් නොවී ජීවත්වෙන්න කියන ප්‍රාර්ථනය මට තියෙනවා. තමන්ගේ හිතට එකඟව කටයුතු කළොත් කවදාවත් වරදින්නේ නැහැ. සෘජු තීරණවලට එළැඹිය හැකිනම් කවදාවත් කෙනකුට වරදින්නෙත් නැහැ. රාජකාරිය කිරීමේ අපහසුවක් වන්නෙත් නැහැ. අභියෝග ජයගත යුතු වන්නේ එතැනටයි. තමන්ගේ  දැනුම, හැකියාව, උත්සහය අනුව නියමිත ඉලක්ක ළඟා කර ගැනීමට උත්සාහ කරන්නේ නම් කෙනෙකු පහළට ඇද දැමීම පහසු දෙයක් නෙවෙයි කියලායි මට හිතෙන්නේ.''   

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment