රෙදිපිළි ස්වභාවිකව වර්ණ ගැන්වීම නව මානයකට රැගෙන යමින් මලකඩවලින් රෙදිපිළි මත රටා මැවීම ලෝකයට හඳුන්වා දීමට සමත්වූ ඇය නමින් ශ්‍රිවන්ති අමරසිංහය. ‘Rust Diaries’ නමින් නව විලාසිතාවන් හඳුන්වා දෙන ඇය එක්සත් රාජධානියට අනුබද්ධිත තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයක ශ්‍රී ලංකා කළමනාකාරිනිය වශයෙන් කටයුතු කළාය.  

මෘදුකාංග ඉංජිනේරු විශේෂ උපාධිධාරිනියක මෙන්ම යෝග පිළිබඳ ඩිප්ලෝමා ලාභිනියක වන ශ්‍රිවන්ති වර්තමානයේ ලෝකයටම විලාසිතා හඳුන්වා දෙන ප්‍රංශයේ සිට ඇය සොයාගත් නව දැනුම ලෝකයට බෙදන්නීය. 

ඒකාකාරී රැකියාවකට කොටු වී සිටිනවාට වඩා තමන්ගේ සිතේ සතුට උපදවන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට ඕනෑම කාන්තාවකට හැකි බව පෙන්වා දෙන ඇය ‘Wonder Woman’ සමග මෙලෙස එකතු වන්නීය. 

''මෘදුකාංග ඉංජිනේරුවරියක වන මම එක්සත් රාජධානියට අනුබද්ධිත ඇප්’ ඩිවලොප් කරන ආයතනයක ශ්‍රී ලංකා කළමනාකාරිනිය ලෙස කටයුතු කරන අතරතුරදී තමයි ‘රස්ට් ඩයරීස්^ කියන මගේ විනෝදාංශය ආරම්භ කළේ. 

මම මුල ඉඳන්ම හුරුවෙලා හිටියේ ‘Sustainable Fashions’ නැතිනම් ඉවතලන දේවල්වලින් විලාසිතා නිර්මාණය කිරීම වෙතයි. ඒ නිසා මේවා පිළිබඳ මුල ඉඳන්ම අධ්‍යනයන් සිදුකළා. සාමාන්‍යයෙන් රෙදි ස්වභාවිකව වර්ණ ගැන්වීම් සිදුකරන්නේ පැළෑටිවලින් හා ශාක අමුද්‍රව්‍ය යොදාගෙනයි. මෙහෙම රෙදි වර්ණ ගැන්වීමේ කටයුතු කරන අතරතුර, රෙදි වර්ණ ගැන්වීම් කරන්නට පුළුවන් හරිම විනෝදජනක දෙයක් මට හමුවුණා. ඒ තමයි මලකඩ. 

මෙහිදී මල කෑමට ලක්වුණ විවිධ යකඩ වර්ග අරගෙන ඒවගේ තිබෙන හැඩතල ඩිසයින් එකක් විදිහට මම රෙදිවලට ගන්නවා. බොහෝ දෙනා නැචුරල් ඩයින් කළාට මලකඩ යොදාගෙන විලාසිතා නිර්මාණය කිරීම කරන්නේ නැහැ. මම මේ විලාසිතා ‘Sustainable Luxury’ ලෙස හඳුන්වා දෙනවා. 

ලෝකයේ ‘Luxury’ විලාසිතා කියලා කිව්වම ප්‍රධාන වෙන්නේ සත්ත්ව හම් හෝ ලොම් යොදා ගන්නා පරිසරයට, සතුන්ට හානිකරන විලාසිතායි. නමුත් මට අවශ්‍ය වුණේ පරිසර හිතකාමී විලාසිතා සිදුකරන්නයි. විදේශයන්හි පවතින තාක්ෂණයන් ප්‍රංශයට ගෙන්වා ගැනීම වෙනුවෙන් ‘French Tech Visa’ නමින් ප්‍රංශයේ වත්මන් අගමැතිවරයා හඳුන්වා දුන් වැඩසටහනක් තිබෙනවා. ඒ අනුව ‘Economically Innovative Projects’ හඳුන්වා දෙන අයට ප්‍රංශයේ වීසා ලබාදීමක් සිදු කරනවා. මම පසුගිය වර්ෂයේ ඉදිරිපත් කළ ව්‍යාපෘතිය ඔවුන් විසින් තෝරා ගැනීමෙන් අනතුරුව මම ප්‍රංශයේ ‘IT Startup’ එකක් කරගෙන යනවා. ඒ අතරේ මම ‘Business Incubator’ එකකට සම්බන්ධ වුණා. ඒ අනුව ස්වභාවික වර්ණ ගැන්වීම් හා යෝගා ප්‍රගුණ කර තිබීම මත, සතියකට දින දෙකක් යෝගා හා රෙදි වර්ණ ගැන්වීම් ඉගැන්වීම් සිදු කරන්නට ඔවුන් මට අවස්ථාවක් ලබා දුන්නා. ඒ අනුව ප්‍රංශයේ යෝගා උගැන්වීම් ආරම්භ කළා. ප්‍රංශයේ අපිට ලැබෙන අවස්ථාවන් බොහෝමයි. ඒ ලැබෙන අවස්ථාවන් මම මගේ දැනුම ලබාදෙන්නට හැකි සෑම විටම ඉදිරිපත් වීමට යොමු වුණා.

2020 වර්ෂයේ මගේ අරමුණ වෙලා තියෙන්නේ ‘Rust Diaries’ නිර්මාණ ප්‍රංශයේ තවදුරටත් ප්‍රචලිත කිරීමයි. මගේ ව්‍යාපාරය සමාජ සද්කාරයක් ලෙස පවත්වාගෙන යෑමේ අදහසක් තිබෙන නිසා මහන්න දන්න, නමුත් ගෙදරට වෙලා ඉන්න කාන්තාවන් කිහිපදෙනෙකුට රැකියා අවස්ථාවන් ලබාදෙන්න මම කැමතියි.

මගේ ජීවිතයේ මට හමුවූ අයගෙන් 90%ක්ම තමන්ගේ රැකියාවේ නිරත වෙන්නේ සතුටින් නෙවෙයි. මම IT ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 10කටත් වැඩියි. බොහෝ වෙලාවට මට හරිම වෙහෙසක් දැනෙනවා. ඒ නිසයි මම යෝගාවලට යොමු වුණේ. යෝගාවලට යොමු වුණාම මම ගොඩාක් පොත් කියවන්න පුරුදු වුණා. ඒ අනුව මට තේරුණ දෙයක් තමයි සල්ලි ගොඩගහගන්න, රැකියාවේ ඉහළටම යන්න මට අතීතයේ තිබුණ ආසාව නොවෙයි සැබෑ සතුට වන්නේ කියන එක. දැන් මම හොයන්නේ ‘Peace Of Mind’ කියන දෙයයි. ඒ අනුව මම ව්‍යාපාරයක් ගොඩ නගලා සමාජයට, ලෝකයට වැඩක් කරන ගමන් පාඩුවේ, හිතේ නිදහසේ ඉන්න හැකි පරිසරයක් ගොඩනගා ගැනීමටයි මම උත්සහ කරන්නේ.

යෝගාවල උගන්වන කුඩා හුස්ම ගැනීමේ ක්‍රමවේදයකට වුණත් කවුරුන් හරි යොමු වුණොත් තමන්ගේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන්. නමුත් බොහෝදෙනා හිතන්නේ යෝගා කියන්නේ හරිම අමාරු වගේම Luxury දෙයක් කියලයි. අපිට අඩුවෙන් දේවල් ලැබෙනතාක් අපේ සිතට ඇතිවන ප්‍රශ්නත් අඩුයි. ඒ නිසා මම දැන් ITවලින් ටිකක් ඈත් වෙන්නයි හදන්නේ. ඒ වෙනුවට මම යාළුවෝ කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ‘Plenty Work’ නමින් ආයතනයක් නිර්මාණය කළා. ඒ හරහා අපි සිදුකරන්නේ ලංකාවේ සිටින අයට විදේශයන්ගේ රැකියා අවස්ථා සොයා දීමයි. අපි ලංකාවට සීමා නොවී මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, යුක්රේන් කියන රටවල් දක්වා මෙය ව්‍යාප්ත කර තිබෙනවා.

ඒ අතරතුර මම ‘Rust Diaries^ හා ‘Yoga With Sri’ කියන Facebook පිටු හා ‘Intergram’ පිටු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම ‘Grow Your own food’ කියන සංකල්පය යටතේ ප්‍රංශයේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටිනවා.

යෝගාවල කියන දෙයක් තමයි මනුෂ්‍යයෙකුට විනෝදාංශ කිහිපයක් තිබිය යුතු බව. අපේ විශ්‍රාම වයස වෙනකන් හැල්මේ දුවලා අවසානයේ අපිට වැදගත් වෙන්නේ අපේ විනෝදාංශ බව හඳුනා ගන්නවා. අපේ ජීවිතයේ ආසාවෙන් කරන දෙයක් අපිට අවශ්‍ය බව දැනෙන්නේ එතනදීයි. ඉතින් මම විනෝදාංශ කිහිපයක් තෝරාගෙන තිබෙනවා. ආසාවෙන් කරන දේවල්වලින් ආදායමක් ලැබෙන එක අවසානයේ මට සතුටක්.

උදේ 9.00 සිට හවස 5.00 වෙනතුරු රැකියාවේ යෙදෙන එකට මම සමුදුන්නේ 2015 වර්ෂයේයි. මගේ නිදහසට මම හරිම ආසයි. උදේ Alarm එකක් තියලා නැගිටින්න මම කැමති නැහැ. යෝගාවල අපිට කියන්නේ නින්ද කියන දේ අපිට ඇති වුණාම තමයි අපි නැගිටින්නේ කියන එක. මම Alarm තිබ්බේ නැති වුණාට උදේම ඇහැරිලා යෝගා ව්‍යායාම්වල නිරත වෙලා පොතක්පතක් කියවලා සැහැල්ලුවෙන් ඉන්නවා. 

මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරිනියක් ලෙස මගේ ව්‍යාපාරවලට අවශ්‍ය දේවල් ඒ දැනුමෙන් තනියම සිදුකර ගන්නවා. අනෙක් ව්‍යාපාරිකයන්ට වඩා මට ඒක ලොකු පිටුවහලක්. උපාධියක් කළා කියලා ඒ අංශයෙන්ම රැකියාවක් කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මගේ දෙමවුපියන්, මගේ සැමියා කවදාවත් මම ගන්න තීරණ පිළිබඳව විවේචනය කරලා නැහැ. මම රැකියාවට සමුදෙන්න තීරණය කරද්දී පවා ඔවුන් මට සහය දුන්නා. රැකියාවෙන් උපයා ගත්තාට වඩා ආදායමක්, සතුටින් කරන ව්‍යාපාරයන් තුළින් අද මම උපයා ගන්නවා.

මම ප්‍රංශයට ගියේ තනිවමයි. බොහෝ දෙනා හිතන්නේ මම සැමියාගෙන් වෙන්වෙලා කියලයි. එහෙම හිතන්නේ හැමෝම එක රාමුවකට කොටුවෙලා සම්බන්ධතා පිළිබඳ හිතන නිසයි. 

මිනිස්සු හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න සල්ලි ගොඩාක් අවශ්‍යයි කියලා. ඒ අදහසම වැරදියි. මම Rust Diaries ආරම්භ කිරීමට අත්හදා බැලීම් කරන්න රෙදි කෑල්ලක් ගත්තේ රුපියල් 150කටයි. වරක් ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ පැවැත්වූ අලෙවි ප්‍රදර්ශනයකදී මම එම රෙදි කැබැල්ල mannequin එකක ඔතලා ලස්සනට තිබ්බා. විදේශීය කාන්තාවක් ඇවිත් එම රෙද්ද විකුණනවාද? කියලා ඇහුවා. මට ඒ වෙලාවේ හිතට ආව මිල ලෙස රුපියල් 2500 බව පැවසූවා. ඉතින් ඒ කාන්තාව එය මිලදී ගත්තා. ඉතින් මට කියන්න තියෙන්නේ ව්‍යාපාරයක් කියනදේ පුංචියට පටන් ගන්න කියලයි. 

“Start Small, Start from where you are, with what you can” කියන දේයි මම හැමෝටම, හැම වෙලාවෙම උපදෙසක් ලෙස ලබාදෙන්නේ. තමන්ට තමන්ව විශ්වාසනම් ඕනෑම දෙයක් කුඩාවට ආරම්භ කර දියුණු කරගත හැකියි. ඒ වගේම මෙහිදී කියන්න ඕන බොහෝ අය අභියෝග දරන්න බයයි. රැකියාවට සමුදෙන්න හෝ අලුත් දෙයක් පටන්ගන්න බයයි. ජීවිතේම එතනින් නතරවෙයි කියලා හිතනවා. නමුත් මගේ ජීවිතේ මම අවදානම් දරන්න බය නැහැ. ප්‍රශ්නයකට පිළිතුරක් හොයනවා නම් ඒ ප්‍රශ්නයෙන් එළියට ඇවිත් පිළිතුරු හොයන්න ඕන. ප්‍රශ්නයක් ඇතුළේ සිට එයට උත්තර හෙව්වොත් අපිට කවදාවත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ.''

නදීශානි පතිරණ / ජායාරූප - සරසි නෙත්මිණී

0 comments

Leave a Reply

Post Comment