ඇය තාරුණ්‍යෙය් සිටියද අධ්‍යාපනික වශයෙන් හා වෘත්තීමය වශයෙන් දිගු දුරක් ගමන්කර සිටිනුයේ තමා තුළ පවතින දූරදර්ශී භාවය හා අප්‍රහිත කැපවීම නිසාමය. ඇයව රටක් හඳුනන්නේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වුවද ඇය නියැළෙන වෘත්තීය හා ඇය කටයුතු කරන ක්ෂේත්‍රයන් සැබවින්ම වෙනස්ය. ලාබාල වියේදීම සම්මාන රැසකට හිමිකම් ලද ඇය බර්නඩීන් ජයසිංහ නම් වන්නීය. මෙරට සමස්ත කාන්තා පරපුරට ආදර්ශයක් මෙන්ම ශක්තියක් වන නිසාම ඇය ‘Wonder Woman' කවරය සරසන්නීය.

“මම ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරන කෙනෙක්. කථිකාචාර්ය වරියක් ලෙස ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක වගේම බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල කටයුතු කරනු ලැබුවා. වර්තමානයේ ආරාධිත කථිකාචාර්යවරියක ලෙස ලංකාවේ සිසුන්ගේ ආකල්ප, කුසලතා වර්ධනය හා නායකත්ව පුහුණුව ආදිය සඳහා සහභාගි වෙනවා.

ඒ වගේම මගේම කියලා Sirius Academy (pvt) ltd නමින් ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඒ අනුව මම ව්‍යවසායික කාන්තාවක්. මීට අමතරව මම ‘Corporate Training' කරනු ලබනවා. විශ්ව විද්‍යාල සිසුන්, දිවයිනේ  ප්‍රධාන ආයතනවල ඉහල කළමනාකාරීත්වය, වගේම ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් ඇතුළුව මේ වන විට තිස්දහසකට අධික පිරිසකට මම පුහුණුව ලබාදී තිබෙනවා. හැමෝම මම පූර්ණකාලීන ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස හිතාගෙන හිටියත් ඇත්තටම මම නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නේ ආශාව නිසයි. බොහෝ උත්සව හා වැඩසටහන් සඳහා මුලසුන දේශන සඳහා වගේම ආරාධිත දේශන සඳහා මාව කැඳවන අවස්ථා බොහෝමයි. ඉන්දියාවේ සහ  ඩුබායි රාජ්‍යයේ පැවැති අන්තර්ජාතික වශයෙන් වැදගත් වූ අවස්ථාවන් දෙකකදී මට ආරාධිත දේශන සිදුකරන්න ආරාධනා ලැබුණා. මේ කුමන කටයුතුවල යෙදුනත් සරල ජීවිතයකට මම හරිම ආසයි.

මම Masters Degrees දෙකක් කරලා තිබෙනවා. Masters in Marketing හා අනෙක MBA එක Specialization in Digital Marketing. ඒ වගේම CIMA (M1), හා CIM අවසන් අදියරේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම මම අන්තර්ජාතික වශයෙන් සහතික ලත්   Corporate Trainer කෙනෙක්. මීට අමතරව මම තවත් අමතර පාඨමාලාවන් කිහිපයක් හදාරලා තිබෙනවා. යම් කෙනෙක් ලබන දැනුම හා අධ්‍යාපනය හැමදාම අපිත් එක්ක රැඳෙනවා. 

මිනිස්සුන්ට මුදල් අවශ්‍ය බව සත්‍යයක් වුණත් මුදල් කියන්නේ හැමදාම අපේ ළඟ රැඳෙන දෙයක් නොවෙයි. නමුත් අපි ඉගෙන ගත්තොත් අපිට මුදල් හම්බ කරගන්න අවස්ථා බොහෝමයක් ලැබෙනවා. ඒ විතරක් නොවෙයි අධ්‍යාපනයක් ලැබීමෙන් අපිට අපේ රටටත් යමක් කරන්න පුළුවන්. 

විශේෂයෙන් ගැහැනියක් ඉගෙන ගන්නවා කියන්නේ එය ඇය සතු දෙයක් පමණක්ම වෙන්නේ නැහැ. ගැහැනියක් තමන්ගේ දැනුම තව අයට බෙදා දෙනවා. එය තව පුද්ගලයන්ට හෝ තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්. ඒ නිසා ගැහැනියකට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. නමුත් අධ්‍යාපනය ලබන්න ලෙහෙසි නැහැ. ‘No Pain :No Gain' යනුවෙන් ඉංග්‍රීසි යෙදුමෙන් කියන්නෙත් අපි මහන්සි වුණේ නැත්නම් අපිට දෙයක් නොලැබෙන බවයි. ඒ නිසා මහන්සිවෙලා ඉගෙන ගන්න. එයට වයසක් අදාළ වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් විදිහට තමන්ට පුළුවන් ක්ෂේත්‍රයෙන් ඉගෙන ගන්නයි අවශ්‍ය.

ගැහැනු ලෙස අපි අපි ගැනම විශ්වාසය ගොඩනගා ගන්න වගේම තමුන්ට ආදරය කරන්න අවශ්‍යයි. අපි අපි ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. අපි මොන තනතුරක් දැරුවත්, මොන නම්බුනාම ගත්තත් පොළවේ පයගහලා ජීවත්වෙන්න පුරුදු වෙන්න ඕන. අපේ තනතුර හෝ නම්බුනාම තානාන්තර නිසා ඔළුව උදුම්මාගන්න හොඳ නැහැ. කාන්තාවකට පුළුවන් වෙන්න ඕන තවත් කාන්තාවක් ධෛර්යමත් කරලා ඉදිරියට අරගෙන යන්න. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර තව කෙනෙකුව පහත් කොට සලකන්නේ නැතිව කටයුතු කරන්න අවශ්‍යයි. 

එක පහනකින් තවත් පහනක් පත්තු කළාට කවදාවත් ඒ පහනේ ආලෝකය අඩුවෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාවන් ඉහළ තනතුරුවලට පත්වුණාම ඔවුන් එක්ක වැඩකරන්න බැහැ කියලා සමාජයේ මතයක් තියෙනවා. ගැහැනියක් ඉහළ තනතුරකට පත්වුණාම Bossy කියන එකෙයි Leader ship කියන එකෙයි වෙනස තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අපේ කාන්තාවන්ට ඉහළටම ගමන්කරන්න පුළුවන්.

අපි ඇත්තටම නායකයෙක් වෙනවා නම් අපි හඳුනාගන්න ඕන අපි අනිත් අයට සේවයක් ලබාදීමයි කරන්නේ කියන එක. මගේ ජීවිතයේ මම සම්මාන ලබනකොට මම හැම වෙලාවෙම හිතන්නේ මේ සම්මානය මට ලැබෙන්නේ අනෙකාට සේවය කරන්න කියලයි. මම ගැන බැලුවොත් මම තමයි Toastmasters Club එකේ සභාපති තනතුරට වගේම DTM තනතුරට ලංකාවේ  පත්වූ ළාබාලතම පුද්ගලයා. ඒ වගේම  Rotary Clubහී (ශ්‍රී ලංකා/ මාලදිවයින්) සභාපති තනතුරට පත් ළාබාලතම පුද්ගලයාත් මමයි. ඇත්තටම  Rotary Club එකකට බැඳෙන්නත් පුළුවන් අවුරුදු 30න් පසුව බවට මතයක් තිබෙනවා. නමුත් මට අවුරුදු 24දී මේ තනතුරු ලැබුණා. එහෙම වුණේ මම අනෙක් අයට ඉහළට එන්නට හැම වෙලාවකම නායකත්වය දුන්නු නිසාත්, මාව පසුකරගෙන ඉහළට යන්න පවා ඔවුන්ව ධෛර්යමත් කළ නිසාත්. කාන්තාවන් විදිහට අපේ යුතුකම විය යුත්තේ තවත් නායකයන් බිහිකරන එකයි. 

ලංකාවේ කාන්තාවෝ හරිම දක්ෂයි. අපේ කාන්තාවෝ හරිම හයියයි. මම හයියයි කියන වචනය පාවිච්චි කරන්නේ අපේ කාන්තාවන්ට හොඳ දරා ගැනීමේ හැකියාවක් තිබෙන නිසයි. මම විදේශ රටවල්වල අය ඇසුරු කරද්දී මම දකින දෙයක් තමයි අපේ කාන්තාවෝ ඔවුන්ට වඩා ගොඩාක් හයියයි. මොකද කාන්තාවක් ලෙස ලෝකයට උපත ලැබීමම අභියෝගයක් වෙද්දී ලංකාවේ කාන්තාවක් ලෙස උපත ලැබීම ඊටත් වඩා දහගුණයක අභියෝගයක්.

මම එහෙම කියන්නේ අපේ සමාජයේ තිබෙන ප්‍රශ්න හා කාන්තාවන් පිරිමින්ට වඩා පහළට දමා සැලකීම තවමත් යම්තාක් දුරට අපේ සමාජයේ පැවතීම නිසයි. ඒ හැම දෙයකටම මුහුණ දෙන අපේ රටේ කාන්තාවෝ හැම අතින්ම ඉදිරියට යනවා. දුෂ්කර පළාතකට ගියත් කොළඹ වුණත් කාන්තාවන් පුදුම ශක්තියකින් කටයුතු කරනවා. 

නමුත් විදේශයන්වල කාන්තාවන් ඉතා ඉක්මනින් හිත් රිදවා ගන්නවා. මානසිකව වැටෙනවා. ඔවුන් සමග නීතිය හැම වෙලාවෙම ඉන්නවා. එහෙම බලද්දී අපේ කාන්තාවෝ බොහෝ ඉදිරියෙන් සිටින්නේ. නමුත් අපේ කාන්තාවන්ගෙන් බහුතරයක් අපේ ගෙවල් ඇතුළෙයි මේ විදිහට මහන්සි වෙන්නේ. ඔවුන්ගේ ශක්තිය එළියට ගෙනත් වෙනමම පැතිකඩකින් ඉදිරියට යෑම සිදුවෙන්නේ නැහැ. 
එය එහෙම සිදුවන්නේ කාන්තාවන්ගේ නිදහස සීමාවීම, පවුලේ වගකීම් හා යුතුකම්වලින් ඔවුන්ව ඈත්කරන්න අකමැති වීම වැනි බලපෑම් සමගයි. එහෙම බැලුවම ලෝකයේ අනෙක් කාන්තාවන් අපේ කාන්තාවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපේ කාන්තාවන්ගේ ශක්තිය බැලුවම ඔවුන්ට ගමන් කරන්න අවැසි මාවත විවෘත වෙනවා නම් අපේ කාන්තාවන් ලෝකයේ අනෙක් කාන්තාවන් අභිබවා යන බව ස්ථිරයි.

කාන්තාවන් ලෙස අපි අපේ ශක්තීන් හඳුනාගත යුතුයි. බොහෝ දෙනා කරගන්න දෙයක් තමයි අපිට බැහැ කියන ලේබලය අලවාගන්න එක. එක්කෝ ඉංග්‍රීසි බැහැ කියලා හිතනවා. නැත්නම් සල්ලි නැහැ කියලා හිතනවා. මේවා වැඩක් නැහැ. අපිට ඉංග්‍රීසි බැහැ කියලා ලැජ්ජා වෙන්න ඕන නැහැ. අපි මවු භාෂාව දන්නේ නැත්නම් තමයි ලැජ්ජා විය යුත්තේ. හැබැයි අපිට ඉදිරියට යන්න නම් ඉංග්‍රීසි අවශ්‍යයි. අපි වැරදි කරන්න ලැජ්ජා නිසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පසු බහින්නේ. නමුත් අපි ලැජ්ජා විය යුත්තේ අපිට බැරි දේ බැරි විදිහටම තබා ගත්තොතින් පමණයි.

අපිට පුළුවන් වෙන්න ඕන තමන්ගේ රැකියාව හා පවුලේ කටයුතු සමබර කරගන්න. අපි දැනගන්න ඕන චරිතය රැකගෙන ජීවත්වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම මම කියන්න කැමතියි ඉහළට ආව චරිතවල කතා අහලා අපි අපි ගැනම දුක් විය යුතු නැහැ. අපි අපේම වීර කතාවක් ලියාගත යුතුයි. අපි තව කෙනෙක්ගේ කතාවක් කියවලා තමන්ගේ කතාවක් ලියන්න එයින් ආදර්ශයක් ගැනීම සිදුවිය යුතුයි. අපි අපේ කතාන්දරය ගැන ආඩම්බර වෙන්න ඕන. මොකද අපි කරන කැපවීම් හා අපි මුහුණ දෙන කම්කටොලු ගැන දන්නේ අපි පමණයි. ඒ නිසා අපි අපේ සාර්ථකත්වයේ කතාව අපි විසින්ම ලියාගත යුතුයි. ඒ වගේම අපේ ජීවිතයේ සතුට අපි හඳුනාගත යුතුයි. අවුරුදු 18දී තමයි ඉතාම කුඩාවට මගේ ආයතනය නිර්මාණය කළේ. එය ඉහළට අරගෙන යනකම් නිදි මරාගෙන නොසෑහෙන්න කැපවීම් කළා. අවුරුදු 4 ½කට පසුවයි මම සාර්ථක වුණේ. ඉතින් හැමෝම තමන්ගේ ජීවිතයේ අරමුණක් හදාගෙන එය ජයගන්න කම්මැලි නොවී වැඩකිරීමයි සිදුකළ යුතු වන්නේ”.

සටහන - නදීෂානි පතිරණ / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

0 comments

Leave a Reply

Post Comment