ඉදිරියේදී පැවැත්වීමට නියමිත දියවඩන නිලමේ ඡන්දය ඉලක්ක කරිමින් පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කෙරෙමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බව මතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන්ය.
නිවේදනය මෙසේයි.
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍රවන අතරම ජාත්‍යන්තර වශයෙන්ද බෞද්ධ රටවල් තුළ දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදුකළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරදූර වගකීම හිමිවන දියවඩන නිලමේ ධූරයේ කටයුතු මල්වතු අස්ගිරි උභය මහා විහාරිය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදුකළ යුතු අතර එය ගෘහස්ථයකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සබැඳිව දැරිය හැකි ඉහළම තනතුර බව නොරහසකි.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් පණතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියවඩන නිලමේ වරයාගේ ධූර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයකු පත් කර ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී. ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වන බව අපට දැනගන්නට ලැබී ඇත.
තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණෙන් විවිධ බාහිර පාර්ශව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි.
ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සබැඳි ගිහි තනතුරු පිළිබඳව සාවද්‍යය කරුණු ප්‍රචාරය කරමින් සම්ප්‍රදායිකව බෞද්ධ සිද්ධස්ථාන හා සබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමඟියට හේතුවන අනවශ්‍ය සංවාද ඇතිකිරීමටද කටයුතු කිරීම මේ දිනවල බහුලව වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝුකොට තැකිය හැකි සිද්ධියක් නොව සමස්ත ලංකාවාසි බෞද්ධයාගේ ප්‍රතිරූපයේ හානියට හේතුවන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී දළදා මාලිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්‍ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා බාරදූර වගකීම් පැවරෙන දියවඩන නිලමේ වරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි.
එහි කාර්ය සාධනයේ අවශ්‍යතාවය හා වගකීම් සමුදාය පිළිබඳව මහා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාවය නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධූරය ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
පෞද්ගලික න්‍යායපත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම දියවඩන්න නිලමේ ධූරය බස්නායක නිලමේ ධූරය ඇතුලු සිද්ධස්ථාන හා සබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයන් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.
ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ
Leave a Reply