භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා විශාල මුදලක්  රජයට අහිමි වී ඇති බව පසුගියදා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

ඒ එම කාරක සභාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් 2025.09.12 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

හලාවත වැවිලි සමාගමට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මුක්කුතොඩුවාව වතුයායේ වැලි ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් වෙත බදු දී 2023 වසරේ දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාර්යාංශය විසින් කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත්කරු විසින් වැලි කියුබ් 36531 සිට 45561ක පරාසයක වැලි තොගයක් ඉවත් කළද රාජ්‍ය භාගය ගෙවා ඇත්තේ වැලි කියුබ් 1594ක් සඳහා රු. 686,464 පමණක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය.

ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසර් (පුද්) සමාගම විසින් 2024 දෙසැම්බර් 19 දින නිකුත් කරන ලද කැණීම් කරන ලද වැලි පරිමාව ඇස්තමේන්තු ගත කිරීමේ වාර්තාව ප්‍රකාරව මෙම කරුණු අනාවරණය වී ඇත.  ඒ අනුව රු මිලියන 12කට අධික රාජ්‍ය භාගයක් අහිමිවී ඇති බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. 

එසේම කලු කල් කැඩීමේදී ගල් කොරි සඳහා රාජ්‍ය භාගය අයකිරීම එම ගල් කොරියට නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය මත පදනම්ව සිදු කිරීම පිළිබඳවත් සාකච්ඡා විය. අනීතික ලෙස යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් කඩා ඉවත් කරනු ලබන සත්‍ය කලුගල් ප්‍රමාණය ගණනය කිරීමට මෙමගින් නොහැකි වන බවත් ඒ හරහා විශාල ආදායමක් රජයට අහිමිවන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙරට විවිධ ප්‍රදේශවල පවතින කලුගල් කොරි මගින් අතිවිශාල වශයෙන් කලුගල් කැඩීම සිදුවුව ද සත්‍ය වශයෙන් රජයට හිමි වන්නේ සුළු අදායමක් පමණක් බව මෙහිදී කාරක සභා මන්ත්‍රීවරු නිදසුන් සහිතව පෙන්වා දුන්හ. 

මේ අනුව කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් නොනැවතී වඩාත් ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් පවතින  නීතිමය අඩුපාඩු මගහරවා ගැනීම සඳහා පනත සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කාරක සභාව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

ඛනිජ සම්පත් කැනීමට පෙර සිදු කරනු ලබන  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණයේ පවතින බලවත් අඩුලුහුඩුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.  දැනට පවතින ක්‍රමවේදය යටතේ ගවේෂණ බලපත්‍ර ලබා ගන්නා බොහෝ ආයතන එම බලපත්‍ර වෙනත් පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කිරීමක් සිදුවන බවත් සැබෑ ලෙසම ගවේෂණ කටයුතු සිදුකර කැනීම් කටයුතු සිදු නොකරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම ගවේෂණයෙන් අනතුරුව එම දත්ත කාර්යාංශයට ඉදිරිපත් කිරීම සිදුවුවද එහි නිරවද්‍යතාව පිළිබඳ බලවත් ගැටලුවක් පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. 1993 වසරේ සිට කාර්යාංශය ගවේෂණ බලපත්‍ර 450කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් දැනට සක්‍රීය තත්ත්වයේ ඇත්තේ ඉන් 43 ක් බවත් මෙහිදී අනාවරණය විය. 

මේ අනුව පවතින ක්‍රමවේදය මගින් නිසි විද්‍යාත්මක ගවේෂණ ක්‍රියාවලියක් විනිවිදබවකින් යුතුව සිදු නොවන බවත් මෙරට ඛනිජ සම්පත්  ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව එම කටයුතු මනා ලෙස කාර්යාංශය විසින් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පැලැස්තර විසදුම් වෙනුවට මෙරට සංවර්ධනයට තිරසාර ලෙස වැදගත් නව යාන්ත්‍රණයක් හා උපායමාර්ගික සැලැස්මක් සකස් කළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ සමාගම් 5ක් වෙත බලපත්‍ර 9ක් නිකුත් කර තිබුණද වසර 10-13ක් මුළුල්ලේ එම සමාගම් ඛනිජ වැලි ප්‍රදේශ සොයා ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාව විසින් අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ මෙම සමාගම් 5ම ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි එක් සමාගමක පරිපාලිත සමාගම් බවත් අනාවරණය විය.  මෙසේ ගවේෂණ බලපත්‍ර  ලබාගන්නා බලපත්‍රලාභීන් අදාළ ප්‍රදේශ කිසිදු ගවේෂණකින් තොරව දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙන් කරගෙන තිබීම හේතුවෙන් ඛනිජ ගවේෂණය කිරීමට අපේක්ෂා කරන අනෙකුත් දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව සීමිත වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මේ හේතුවෙන් වර්ග කි.මි 195ක් ප්‍රමාණයක් සිරවී ඇති බවත් එය රටේ සංවර්ධනයට බාධාවක් බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව කැනීම්වලින් අනතුරුව කැනීම් භූමි පුනරුත්තාපනය කරවීමට‍ කටයුතු කළ යුතු වුවද 2025 අගෝස්තු 11 වන විට බලපත්‍ර 3150 කට අදාළව පුනරුත්තාපන කටයුතු සිදුකර ගැනීමට කාර්යාංශය කටයුතු කර නොතිබීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙහිදී සාකච්ඡා වූයේ කැනීම් බලපත්‍රය ලබා ගැනීමේදී පුනරුත්තාපනය සඳහා බැඳුම්කරයක් (ඇපකරයක්) ලබා ගත්ත  ද පුනරුත්තාපනය සිදු කිරීම වෙනුවට  එම මුදල අතහැර දැමීම ලාභදායි ලෙස කැනීම්කරුවන් සළකන බව පෙනී යන බවයි. කෙසේ වෙතත් පුනරුත්තාපනය සිදු නොකළ කැනීම් බලපත්‍රලාභීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.  

තිරිවානා අපනයනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. තිරිවානා සමග පළිගු (Clear Quartz) නිීති විරෝධි ලෙස අපනයනය කිරීමේ ජාවාරම් සිදුවන බවත් ඒ සඳහා කාර්යාංශයේ අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ සහය හිමිවන බව පෙනී යන බවත් මෙහිදී සාකච්ඡා විය. පළිගු අපනයනය සිදු කිරීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය යටතට ලබා දී අනෙකුත් තිරිවානා නීත්‍යනුකූල ලෙස අපනයනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පසුගිය ඉතිහාසය තුළ  පනතේ නෛතික ප්‍රතිපාදන අනුව නිසි සැලැස්මකට කටයුතු නොකළ ආයතනයක් බව විමර්ෂණවලින් පැහැදිළිව පෙනීයන බව කාරක සභාව පෙන්වා දුන්නේය. දැනට වඩා විශාල ආදායමක් ඉපයිය හැකි දැවැන්ත ජාතික කාර්යක් ඉටු කළ හැකි ආයතනයක් ලෙස මෙම ආයතනය නිසි දැක්මක් සහිතව විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ඒ අනුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෝප් කමිටුව විසින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.

0 comments

Leave a Reply

Post Comment