කීරි සම්බා සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් අවශ්‍යතාවක් ඇතිවුවහොත් සහල් ආනයනය කිරීමට හෝ ආදේශක සහල් සඳහා අනුමැතිය හිමිවී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය මහ කන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 25කට ආසන්න සහල් අස්වැන්නක් ලැබී ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා මෙවර යල කන්නයේදී සහල් අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ 22ක් පමණ අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය.

එසේම මේ වනවිට සියයට 79කට ආසන්න ප්‍රමාණයක් අස්වැන්න නෙලා ඇති අතර අස්වැන්න සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟා වී ඇත අතර වගා කිරීමේදී මෙම කන්නයේදී නාඩු සියයට 62ක් වන අතර කීරි සම්බා වගා කර ඇත්තේ සියයට 7ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද කීරිසම්බා වගා කිරීමේ අඩුවක් මිස සමස්ත නිෂ්පාදනයේ අඩුවත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම ඇතිවී තිබෙන කීරි සම්බා සහල් ගැටලුව නිරාකරණය කිරීමට රජය මැදිහත් වී ඇති බවත් පැවසීය.

මෙ වනවිට වෙළඳපොළේ පවතින සහල් අවශ්‍යතාවටය අනුව විවිධ වර්ගයේ වී වගාකරන අතර අස්වැන්න පිළිබඳව සළකා බලා අවශ්‍යතාවයක් ඇති වන්නේ නම් සහල් ආනයනය කිරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

0 comments

Leave a Reply

Post Comment