“වැරදි සිදුවීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි” යනු පැරණි කියමනකි. කෙසේ වුවද, නිවැරදිව දිවි ගෙවන්නේනම්, කිසිවෙකුගෙන්වත් සමාව ගන්නට සිදුවන්නේද නැත. තමා අතින් වැරදි සිදුවෙනවා යැයි සිතේ නම්, එම වැරදි නිවැරදි කරගෙන, ජීවිතය ජය ගන්නේ කෙසේද යන කාරණය සම්බන්ධව අද අපි ඔබව දැනුම්වත් කරන්නෙමු. 
එහිදී අප පහත දක්වන කරුණු ඉතාම කුඩා කාරණා 5ක් වුවත් ඒවා අප අමතක කරන කරුණු කිහිපයකි. එබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කර, වැරදි නිවැරදි කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට මෙය ඔබට අත්වැලක් වනු නියතය.

ක්‍රමවත් සැලැසුමකට අනුව දවස ආරම්භ කිරීම

කාලය කළමනාකරණය කරගනිමින්, දවසේ වැඩ කටයුතු කිරීමට ක්‍රමවත් සැලැසුමක් සකසා ගත යුතුය. උදෑසන අවදි වූ මොහොතේ සිට, රාත්‍රී නින්දට යන තෙක් කළ සිදුකළ යුතු වැඩකටයුතු, කාලසටහනකට අනුව සිදුකරන්නේනම් බොහෝ ගැටලුවලින් අත්මිදීමට එය පිටිවහලක් වේ. 
පවුලෙහි අන්‍යෝන්‍ය සබඳතා වැඩිපුරම බිඳ වැටෙනුයේ, ක්‍රමවත් සැලැසුමකට දවස ආරම්භ නොකිරීම හේතුවෙනි. අද දින කිරීමට ඇති වැඩකටයුතු අදම අවසාන කිරීමට සිතේ දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඔබ සමාජයේ කවර තරාතිරමක ජීවත්වන පුද්ගලයකු වුවත්, ක්‍රමවත්ව දවස සැලැසුම් කරගන්නේ නම්, එය ඔබේ මුළු දිවියටම ආලෝකයකි.

වෙලාවක් නැතැයි නොසිතීම

කිසිදු පුද්ගලයකුට තනිවම ජීවත් විය නොහැකිය. පාසල, පවුල, රැකියා ස්ථානය යන සෑම ස්ථානයකදීම, එකිනෙකා සමග එක්ව වැඩ කිරීමට සිදුවේ. ඔබේ ළඟම හිත මිතුරකුගේ උපන් දින සාදයකට සහභාගි වීම, ඔබ කැමැතිම විනෝද ගමනක් යාම වැනි දෑ සඳහා ඔබේ කාලය යම් තරමකට හෝ වෙන්කර ගැනීම, ඔබේ ඒකාකාරී මනසට යම් තරමක සුවයකි.
අන් අය සමග සුහදව කතාබහ කිරීමට, ජීවිතයේ ගැටලුවලට පිළියම් සෙවීමට ඔබට හැකි වන්නේ, ඔබේ වටිනා කාලය අන් අය සමග සුහදව ගතකිරීමට යොදා ගතහොත් පමණි. ගැටලු තනිවම නිරාකරණය කර ගැනීමට වඩා, අන් අය සමග කථිකාකොට, ඔවුන්ගේ සමාජ අත්දැකීම්ද ඔබේ ජීවිතයට සමීප කර ගැනීමට හැක්කේ, අන්‍යයන් සමග සුහදව කටයුතු කිරීමට කාලය ඉතිරි කරගතහොත් පමණි.

සැබෑ කරගත නොහැකි අරමුණු හඹා නොයෑම

සෑම පුද්ගලයකුටම අරමුණු ඇත. බොහෝවිට, යථාර්ථවත් නොවන අරමුණු මගින් මනස ව්‍යාකූල කරගන්නා පුද්ගලයන් සමාජයේ ජීවත් වේ. වැරදි මතවාදවලට වහල් වී, පුහු අරමුණු කරා යනවාට වඩා, කාලය අර්ථවත් ලෙස ගතකිරීමට අද සිටම ඔබ පුරුදු විය යුතුය. ඒ සඳහා සිතේ දැඩි අධිෂ්ඨානයක් තබා ගත යුතුය. ඔබේ ජීවිතයට, යහපත් චරිතයක් සමීප කරගෙන, එම පුද්ගල චරිතය අනුව තම දිවිය ජයගන්නට උත්සාහ කරන්නේනම් ඔබේ ජීවිතයේ වැරදුණු තැන් ඉක්මනින්ම නිවැරදි කරගත හැකිය.

තමන්ගේ ජීවිතයේ අඩුපාඩු මොනවාද යන්න නිශ්චය කර ගැනීම

අඩුපාඩු නැති මිනිසුන්, ලෝකයේ කොතැනකදීවත් සොයාගත නොහැකිය. අඩුපාඩු ඇතිවන්නේ ඇයි? එයට හේතු මොනවාද? යන්න පිළිබඳ තමන් විසින්ම අවබෝධ කරගත යුතුය. ඔබගේ පවුලේ සමීපතයන්ගෙන් පවා ඔබේ අඩුපාඩු මොනවාද යන්න පිළිබඳ විමසා දැනගන්නෙනම්, ඔබේ වැරදි ඉක්මනින්ම හදාගැනීමට පුළුවන. 
සිතෙහි දැඩි ආත්ම ශක්තියක් ගොඩනගාගෙන, තම අඩුපාඩු මගහරවා ගැනීමට සිතන ඔබට, කෙදිනක හෝ යහපත් සමාජ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටද හැකිය.

ස්වයං අධ්‍යයනයක නිරතවීම

තමන් කවරෙක්ද? තමන් කළ යුත්තේ මොනවාද? ඒවා නිවැරදිව ඉටු කිරීමට කළ යුත්තේ මොනවාද? යන්න පිළිබඳ බුද්ධිමත් මනසින් යුතුව ක්‍රියා කළ යුතුය. එවිට ඔබේ ජීවිතයේ අඩුපාඩු ඉක්මනින්ම හදා ගැනීමට හැකිවේ. පවුල, පාසල, වෘත්තීය ක්ෂේත්‍රය යනාදී සෑම ස්ථානයකදීම, විනයගරුක ලෙස ඔබ ස්වයං අධ්‍යයනයක නිරත වන්නේනම්, එය ඔබේ මුළු ජීවිත කාලය පුරාවටම සිදු කරන යහපත් ක්‍රියාවකි.

පොත්පත් කියවීම පුරුද්දක් කර ගැනීම

පොත්පත් කියවීම තුළින් ඔබේ ජීවිතය ගොඩනගා ගැනීමට පුදුමාකාර උදව්වක් ලැබේ. ඒ ඔස්සේ ජීවිතයේ යථාර්තය දැකීමට ඔබට හැකියාව ලැබේ. ඒ නිසා ඔබේ විවේක කාලය ඒ සඳහා යොදාගත හැකිය. නැතිනම් ඔබට යන එන අතරතුර වැය වෙන කාලය ඔබට හැකි නම් පොතක් කියවන්න. 

සටහන - සරසි  නෙත්මිණි

0 comments

Leave a Reply

Post Comment