පවුලේ සාමාජිකයන්ගේ ගැටලු තුළදී කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ පවුල සහ ගැටලු. මෙහිදී පුද්ගලයාගේ මනස තුළ ඇතිවන ගැටලු වගේම පුද්ගලයාට බාහිර සමාජය සමග තිබෙන ගැටලු තිබෙනවා. පුද්ගලයාට රැකියාව සම්බන්ධ ගැටලු තිබෙනවා. අපිට සාමාන්‍යයෙන් වැඩියෙන් දැනෙන ගැටලුවක් තමයි මගේ මනසින් මට ඇතිවන ගැටලු සහ මගේ පවුලෙන් මට ඇතිවන ගැටලු.

එහිදී පවුල ගත්විට අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම ප්‍රිය කරන්නේ අපේ නිවසට. අපි නිතර සොයන්නේ ගෙදර සාමාජිකයෝ. ගෙදර ආදරය, සෙනෙහස, ඒ වටපිටාව. එහි කොතරම් ගැටලු තිබුණත් අපේ මනස සොයන්නේ අපට හුරුපුරුදු තැන. පවුලේ සාමාජිකයන් ගත් විටද පුද්ගලයන් හතර පස් දෙනෙක් සිටිනවා. පුද්ගලයන් ලෙස ගතහොත් ඒ පුද්ගලයන් වෙනම හතර පස් දෙනෙක්. මේ හතර පස්දෙනා කියන්නේ විවිධ අදහස් තිබෙන, විවිධ ආකල්ප තිබෙන, විවිධ රුචි අරුචිකම් තිබෙන, විවිධ අධ්‍යාපන මට්ටම්වලින් යුක්ත අය, විවිධ සමාජ මට්ටම් දැරීම නිසාම විවිධ වූ වෙනස්කම් ඒ අතර තිබෙනවා. 

එම නිසා ඔවුන් සමග ගතකරන විට යම් යම් ගැටුම් ඇති වෙනවා. එය ස්වභාවිකයි. අපි තනියම ජීවත් වෙද්දී අපිට ගැටුම් ඇති වෙන්නේ නැහැ. තව පුද්ගලයකු සමග ජීවත් වෙද්දී තමයි ගැටලු ඇති වන්නේ. නිවසේ සාමාජිකයන් කිහිපදෙනෙක් සිටීමේදී හා සම්බන්ධ වීමේදී විවිධ ගැටුම් ඇති විය හැකියි. 

පුංචි කාලයේ පටන් දරුවෝ තමන්ගේ සහෝදරයන් සමග ගැටුම් ඇති කර ගන්නවානම් එය එතරම් සැලකීමට අවශ්‍ය නැහැ කියා අපි කියනවා. විශේෂයෙන් අවුරුදු7,8 අවුරුදු 10,12 කාලයේ තමන්ගේ සහෝදරයන් සමග සුළු සුළු ගැටුම් ඇතිකර ගන්නවා. ඇත්තෙන්ම එය දරුවන්ගේ පෞරුෂය වර්ධනයට හොඳ දෙයක්. 

තනි දරුවෙක් සිටින පවුලකට වඩා සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක දරුවන්ගේ පෞරුෂය හරි ශක්තිමත්. ඔවුන්ට තමන්ට පැමිණෙන ගැටලුවලට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. ඒ ගැටුම් තුළින් දරා ගන්න වගේම කැප කිරීම් කරන්න පුරුදු වෙනවා. කුඩා කාලයේ ඇතිවන සහෝදර ගැටුම් සමග එවැනි කුසලතා රාශියක් අත්කර ගන්නවා. දෙමාපියන් වශයෙන් අපි පුරුදු වෙන්න ඕන ඒ දේවල් දුරදිග නොයන්න ඉඩ දෙන්න. 

කුඩා දරුවන්ගේ ගැටුම් පැයකින් දෙකකින් කොහොමත් සමනය වීමක් සිදුවෙනවා. වැඩිහිටි වූ පසුව ඇතිවෙන සහෝදර ගැටුම් මීට වඩා වෙනස්. වැඩිහිටි වූ විට අපි ලෝකය දකින්නේ ඉතාමත් සංකීර්ණ විදිහට. අධික තරහව, අධික ලෝබකම වැනි දේවල් තිබෙනවා. මේ නිසා වැඩිහිටි වියේදී ඇතිවන ගැටුම්වලින් පීඩාවට පත්වන ප්‍රමාණය වැඩියි. පවුලක් තුළ දෙමාපියන් දරුවන් අතර ඇතිවන ගැටුම්, සැමියා බිරිඳ අතර ඇතිවන ගැටුම්, සහෝදර සහෝදරියො අතර ඇතිවන ගැටුම් ලෙස තුන් ආකාරයක ගැටුම් ඇති වෙනවා. 

සැමියා බිරිඳ අතර ඇතිවන ගැටලුවලදී අපි බොහෝ විට දකින දෙයක් තමයි වාචික හිංසනය. සමහර අවස්ථාවලදී මානසික ගැටලු ඇති දරුවන්ගේ දෙමාපියන්ගෙන් අපි අසන දෙයක් තමයි දරුවා පිළිසිඳගෙන සිටියදී ඔබ මානසික පීඩනයකින් සිටියාද කියා. ගර්භිණී සමයේ මෙවැනි මානසික පීඩනයන් හේතු නිසාවෙන් අසාමාන්‍ය ගතිලක්ෂණ සහිත දරුවෝ වගේම, මන්ද බුද්ධික දරුවෝ, අධික්‍රියාකාරී දරුවෝ බිහිවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට සැමියා සහ බිරිඳ අතර ඇති වන ගැටුම්වලදී එය සාමකාමීව විසඳගත යුතුයි. බිරිඳක්ව නිතර කායික හා මානසික දුකට පත් කිරීමෙන් ඇයට නිරෝගී හා බුද්ධිමත් දරුවන් බිහි කිරීමේ හැකියාව හීන වෙනවා. 

පවුල තුළ ඇති වන ගැටලු හරියට කළමනාකරණය කර ගැනීමට හැම පාර්ශ්වයක්ම උත්සාහ දැරිය යුතුයි. එය පවුලේ එක් අයකුට පැටවෙන වගකීමක් නොවේ. ගැටුම් කළමනාකරණය කර ගැනීමේ කුසලතාවය පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම තිබෙන්නට ඕන. ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. විවිධ ලක්ෂණ තිබෙන අය සමග ගැටෙන විට ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. ඒ ගැටලු කිසිකෙනෙකුට හානියක් නොවන ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අප පුහුණු විය යුතුයි. එය නැත්නම් ඒ කුසලතාවය වර්ධනය කරගත යුතුයි. එසේ නොවුණහොත් පවුල තුළ ඇති සමඟිය, සතුට, නිදහස නැතිව ගියවිට අපිට මානසික ලෙඩුන් කායික ලෙඩුන් බවට පත්වීමට සිදු වෙනවා. 

දරුවන් සහ දෙමාපියන් අතර ගැටුමකදී දරුවාගේ වර්ධනය වන වයසත් සමග දරුවො හදා ගන්නා විදිහේ ක්‍රම ශිල්ප වෙනස් වන බව අනිවාර්යෙන්ම දෙමාපියන් තේරුම් ගන්න ඕන. අවුරුදු 10ට අඩු දරුවෙක් හදන විදිහට නෙමේ අවුරුදු 10ට වැඩි දරුවෙක් හදන්නේ. 
වැඩිහිටි දරුවො අතර ගැටලුවක් ආ විට එය හොඳින් කළමනාකරණය කර ගන්න අනෙක් පාර්ශ්වයට හෝ තමාට මානසික හිංසාවට පත්නොවන ආකාරයෙන් ගැටලු විසඳා ගන්නා ආකාරය පුංචි කාලයේ පටන් දරුවන්ට හුරු කළ යුතුයි.  

ගැටලුවක් ඇති වුණාට පස්සේ ගැටලුව සාකච්ඡා කරන්න අවශ්‍යයි. නමුත් එය සිදු කළ යුත්තේ එය සිදු වූ මොහොතේම නොවේ. එහිදී නිහඬව සිටීමට යම්කිසි කාලයක් ලබා දිය යුතුයි. ඒ නිහඬව සිටින කාලය තමයි හිතන කාලය. ඒ ගැටුම පිළිබඳව මානසික වශයෙන් අපි හිතනවා. ඇයි එලෙස සිදු වූයේ? ඇයි ඒ විදියට මට කතා කළේ? පසුවිපරමක් සිදු කරන්න ඒ වගේ කාලයක් අපිට අවශ්‍යයි.

පශ්චාත්තාපයකට පත්වන්න යම්කිසි කාලයක් දිය යුතුයි. මොකද පසුතැවීම කියන දේ නරක දෙයක් නොවේ. ඒ නිසා හැමදේටම පොඩි කාලයක් ලබාදිය යුතුයි. ඉන්පසුව පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡා කරන්න ඇයි මේ ගැටලුව ඇති වූයේ කියා. මේ ගැටලුවට මූලික වූ හේතු මොනවාද? මෙහිදී එකිනෙකාට චෝදනා කරනවාට වඩා අපි එකිනෙකාට අදහස් දක්වන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහිදි එකඟතාවට පැමිණ ගැටලුව විසඳා ගන්න පුළුවන්. මේ අනුව පෙනෙන්නේ ගැටලු ඇතිවීම ස්වභාවික බවත්, ඒ ගැටලු විසඳා ගැනීමේ කුසලතා අපි වර්ධනය කළ යුතු බවත්. 

අදහස් දැක්වීම
තාරු පරණවිතාන (සායනික මනෝ චිකිත්සක / කථිකාචාර්ය / The Helping Hand මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂ)
සටහන - සරසි නෙත්මිණි

0 comments

Leave a Reply

Post Comment