බොහෝ කාන්තාවන් ජිවිතයේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යෑමේදී තමාටම ආවේණික විශ්වාස හා ඇදහීම්  පද්ධතියක් පවත්වාගෙන යනු අප දැක තිබේ. එම  ඇතැම් දේ හිතකර වන අතර, ඇතැම් දේ අහිතකර වේ. 

නිදන කාමරයක් තුළ ඇති  නිදන ඇද ,අල්මාරිය  ගෘහ අභ්‍යත්තරය ආදිය  පිරිසුදු කිරීම සහ තමාගේ පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව කටයුතු කිරීමේදි මෙකී තත්ත්වය කැපී පෙනෙනවා.  නිවසක ඇති ගෘහ භාණ්ඩ හා ඒවා තමන් විසින් පවත්වාගෙන යන ස්වරූප අනුව කාන්තාවන්ගේ චරිත ලක්ෂණ විද්‍යමාන වන බව බොහෝ දෙනෙකු නෙදන්නා කරුණක්. ටොලමියානු ජ්‍යෝතිෂය අනුව මේ ඒ පිළිබඳව කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි මේ.

''නිදන කාමරයේ ඇද ඇතිරිලි මාරු කිරීම සම්බන්ධයෙන් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගුප්ත විශ්වාසයන්ට අනුව එය ඉටුකරන බව ඔබ දන්නවාද? කෙනෙක්  නින්දෙන් අවදි වූ විගසම දවසේ සියලු කටයුතු ආරම්භ කිරීමට පෙර ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ආදිය සකස් කොට දවසේ කටයුතු අරඹන්නේ නම් එවැනි කෙනෙක් සතුව පවතින්නේ සෑම දෙයක්ම ක්‍රමානුකූලව හා කඩිනම්න් ඉටු කිරීම හා ප්‍රබෝධමත් මානසිකත්වය පිළබඳව සංඥාවයි.

තවත් කෙනෙක් නින්දෙන් අවදි වූ විගසම ඇද ඇතිරිලි හෝ කොට්ට මෙට්ට ආදිය සකස් කිරීමක් නොකර වෙනත් කටයුත්තක් හෝ කටයුතු කිහිපයක් පිළිබඳව යුහුසුළු වෙයිනම් ඇගේ ගුප්ත විශ්වාසය අනුව වැඩ කටයුතු රාශියක් ඉටු කිරීම හා ඊට තමා සතු නොහැකියාව හෝ අපොහොසත් බව ඒ මගින් පෙන්වයි. මේ දෙවැනි වර්ගයේ කාන්තාවන් බොහෝ විට ආතතියෙන් සිටින අතර, කිසිම දෙයකින් තෘප්තිමත් වීමක් සිදු වන්නේ නැහැ.

තවත් කාන්තාවන් නින්දෙන් අවදි වූ විගසම සිදු කරනුයේ නිදන ඇඳ සකස් කිරීමක් සිදු නොකර ඒ මත සිටියදීම පවුලේ අනෙකුත් සාමාජිකයින් සමග හෝ දුරකථනයෙන් හෝ කතා කිරීම අණදීම් හෝ නොයෙකුත් මැසිවිලි පිළිබඳව ප්‍රතිරාවය නැංවීමයි. මෙවැනි කාන්තාවන් සතු ගුප්ත විශ්වාසය වනුයේ ඇගේ සමස්ත ජීවිතයම තමා හා අන් අය කෙරෙහි ආවේගාත්මක ආකල්පයක සිට කටයුතු කිරීමයි. මේ තුන්වැනි වර්ගයේ කාන්තාවන් බෝහෝ විට සෑම කටයුත්තකටම පාහේ අන් අයගේ විවේචනයන්ට හා ගර්හාවට ලක්වේ.
ඊටත් අමතරව හතරවැනි වර්ගයේ කාන්තාවන් විසින් සිදු කරනු ලබනුයේ දිනපතාම පාහේ අලුත් කොට්ට උර හා ඇඳ ඇතිරිලි මාරු කිරීමයි. එය නින්දෙන් පිබිදුණු විගසම වහාම සිදුකිරීමට උත්සුක වේ. මෙවැනි වර්ගයේ කාන්තාවන් තමාගේ ආ අන් අයගේ ජීවිත කෙරෙහි ධනාත්මකව යහපත් ආකල්පයකින් යුතු අය වෙති. එහෙත් ඔවුන් සතු විශාලම දුබලතාව වන්නේ සෑම විටම තමා කරන කියන දේ පමණක් ඉතා උසස් යැයි ඇදහීමයි.

මේ වර්ග අතරින් වඩාම ප්‍රශස්ත වන්නේ කුමන වර්ගය දැයි ඔබ දන්නවාද? වඩාත් සාධාරණ සමබර ආකල්පයෙන් යුතු වන්නේ පළමු වර්ගයට අයත් නින්දෙන් අවදි වූ වහාම සියලු වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර කොට්ට මෙට්ට ආදිය මනාව සකස් කොට ප්‍රබෝධමත් හා උද්‍යෝගයෙන් යුක්තව වැඩ කටයුතු අරඹන කාන්තාවන්ය.

මෙවැනි ඉතා සුළු ලක්ෂණ මගින් කෙනෙකුගේ ජීවිතයේ බෝහෝ සංකීර්ණ අවශ්‍යතා පවා හඳුනාගත හැකිව තිබේ. එහෙත් ලෝකයේ ජීවත්වන සියලුදෙනා එකම අච්චුවේ, එකම වර්ගයේ පුද්ගලයන් විය යුතු නොවේ. වඩා වැදගත් වනුයේ අන් අයගේ ගර්හාවට ලක්නොවන අන්දමින් පිළිවෙළක් මත කටයුතු කරන පිරිසක් බවට පත්වීමයි.

මීටත් අමතරව කාන්තාවන් සතු තවත් ඇබ්බැහිවීමක් හා විශ්වාසයන් හඳුනා ගැනීම සඳහා ඇගේ ඇඳුම් අල්මාරිය සංඥාවක් ලෙස යොදාගත හැකිව තිබේ.
1. මේ පළමු වර්ගයේ කාන්තාවන් ඇඳුම් අල්මාරිය තුළ සැමවිටම පාහේ ඇඳුම් පිළිවෙළට නවා ගොනු කොට තිබේ. මේ වර්ගයේ කාන්තාවන් තමාගේ බාහිර නිරෝගී පැවැත්ම මෙන්ම මානසික හෝ අධ්‍යාත්මික අංශයෙන්ද ප්‍රගතියක් ලද්දෝ වෙති. ඔවුන් තමාටද අන් අයටද ගරු කරයි. ආදරය කරයි.
2. තවත් කාන්තාවන් තමාගේ ඇඳුම් අල්මාරිය තුළ පමණ ඉක්මවා රෙදි පුරවා තිබෙන අතර, එහි පිළිවෙළක් හෝ ප්‍රසන්න භාවයක් නැත. ඇයට අවශ්‍ය යම් දෙයක් තෝරා ගැනීමට යෑමේදී මුළු අල්මාරියම අවුස්සමින් ඇඳුම් සෙවීමට ඇය පෙලඹේ. මෙවැනි කාන්තාවන්ගේ  මනස තුළ අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේද පොඳි බැඳ තිබේ. ඒම සිතුවිලි අතර තමා කෙරෙහි ඇති නොරිස්සනසුලු ස්වභාවය අන් අය කෙරෙහි ඇති ආවේගාත්මක සිදුවිම්ද, ඔවුන් පිළිබඳව ඇති නොසතුටද පිරී ඉතිරී පවතී. තමා‌ගේ ශරීර සුවතාව සම්බන්ධයෙන්ද ඇගේ අවධානය හා සැලකිල්ල ඉතා අඩුය. මෙවැනි කාන්තාවන් සෑම විටම ජීවිතයේ පසුගාමී නිශේධාත්මක දේ පමණක් මූලික කොට ගන්නා අතර, ජීවිතයේ ස්වභාවය පිළිබඳව බොහෝ විට නොමග ගිය සිතුවිලිවලින් යුක්ත අය වෙති. තණ්හාව, මසුරු බව, ද්වේශය ආදී මානසික අගතියන්ගෙන් මොවුන් පීඩා විඳී.

3.තවත් කාන්තාවන් තම ඇඳුම් අල්මාරිය තුළ තැන්පත් කරනුයේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේ පමණි. භාවිතයට ගන්නා ඇඳුම් යනාදිය පමණක් පිළිවෙළට දමා එය හොඳින් නඩත්තු කරයි. මෙවැනි වර්ගයේ කාන්තාවන් ජීවිතය ජයගත්, තමාගේ මෙන්ම අන් අයගේ ජීවිතය කෙරෙහිද ආදරය කරන්නෝ වෙති. දුක, සතුට, ජය, පරාජය මොවුන් විසින් සමසේ විඳ දරා ගනු ලබන අතර, ඔවුන් හට ඔවුන් හට ජීවිතය පහසුවෙන් ජයගත හැකිය.

4. තවත් කාන්තාවන් තම ඇඳුම් අල්මාරිය නිතර නිතර පිරික්සීමට හා ඇඳුම් ඇතිරීම පිරිසුදු කිරීම දෛනික පුරුද්දක් බවට පත් කරගෙන තිබේ. මතුපිටින් පෙනෙන කළ මෙවැනි වර්ගයේ කාන්තාවන් තුළ අගතියක් නොදැකිය හැකි නමුත් ඇගේ ජීවිතය බොහෝ විට ඒකාකාරී පටු රාමුවක පවතී. එහෙයින් ඇය ජීවිතයේ බොහෝ අවස්ථාවන් අහිමි කරගනී.

මේ වර්ග හතරින් වඩා හිතකර වන්නේ කුමන වර්ගය දැයි ඔබ දන්නවාද ? තම ඇඳුම් අල්මාරිය තුළ අවශ්‍ය දේ පමණක් තැන්පත් කර, අනවශ්‍ය දේ බැහැර කරමින්, තමාගේ මෙන්ම අන් අයගේද ජීවිතවලටද ආදරය කරන තුන්වැනි වර්ගයේ අයයි. මතුපිටින් වරදක් නොපෙනෙන නමුත් පටු සීමාවන් තුළ සිරවී සිටින සිවුවැනි වර්ගයට අයත් පිරිසක් නොවීමට ඔබ වගබලාගත යුතුය.''

kcjrathnayake@gmail.com
කෂිනි හපුආරච්චි

 

 

0 comments

Leave a Reply

Post Comment