ඔබත් ඔබගේ දරුවන්ගේ ගැටලුවලට තනිව විසඳුම් සොයන අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවක් නම් මේ උපදෙස් සායනික මනෝ චිකිත්සක/කථිකාචාර්ය 'The Helping Hand' මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂ තාරු පරණවිතාන මහත්මියගෙනි.

සාම්ප්‍රදායික පවුල් සංස්කෘතිය වර්තමානයේ වෙනස් වී තිබුණත් ඒවායේ ගතිලක්ෂණ මිනිසුන්ගේ මනස තුළ සිත් තුළ වගේම ගති ලක්ෂණවල පවතිනවා. වර්තමානය වන විට කාන්තාවන් කුමන හෝ රැකියාවක නිරත වෙනවා. විශේෂයෙන් පිරිමියෙක් උපයන මුදල පවුලේ වියදමට සෑහෙන්නේ නැති ආර්ථික පසුබිමක් වර්තමානයේ සැකසී තිබීම මීට හේතුවයි. මෙලෙස කාන්තාව පිරිමියාගේ ආර්ථිකමය භූමිකාවට සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය වුවත් මේ දක්වා කාන්තාව පවුලක් තුළ ගෙනගිය භූමිකාවට පිරිමියා සහයෝගය දැක්වීම කෙරෙහි යොමුවීම සිදුවෙන්නේ අඩු වශයෙන්. කාන්තාවක් රැකියාවක නිරත වී වැටුපක් උපයන අතරම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෘහ කටයුතු, නිවාඩු දිනවල සමාජමය කටයුතු ආදී පුළුල් කටයුතු රැසක් කාන්තාවගෙන් සිදුවෙනවා. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ පිරිමින්ගේ භූමිකාව වෙනස්වෙන වේගය ඉතාම මන්දගාමීයි. බොහෝ විට පිරිමියා තවමත් කරන්නේ මුදල් ඉපැයීමේ කාර්යයට දායකවීමයි. මේ නිසාම පවුල් තුළ ආරවුල් හා ගැටලු නිර්මාණය වෙනවා. ඒ හරහා කාන්තාව විවිධාකාර මානසික ගැටලුවලට මුහුණදෙනවා. එය දරුවන්ගේ පෞරුෂය ගොඩනැගීමේදී හානිකර ලෙස බලපානවා. අවසානයේ මෙකී කාරණා නිසා පවුල් සංස්ථාව බිඳී යන්නත් පුළුවන්. ඒ නිසා මනෝ උපදේශකවරුන් වන අපි සැමවිටම පවුල් උපදේශනයේදී උපදෙස් ලබාදෙන්නේ බිරිඳ හා සැමියා ලෙස පවුලේ කටයුතු ගෙන යන ආකාරය පිළිබඳවයි.

ඇතැම් අවස්ථාවලදී සැමියා විදේශගතව සිටින පවුල්වල හා ත්‍රිවිධ හමුදා සෙබළුන් හා නිවසෙන් දුරබැහැර ප්‍රදේශවල රැකියාවල නිරත වන ආකාරය දැකගන්නට පුළුවන්. එවිට පවුල තුළ සියලුම ආකාරයේ කටයුතු හා වගකීම් පැවරෙන්නේ කාන්තාව වෙතටයි. 
එහිදී අපිට පෙනෙන දෙයක් තමයි මෙවන් සැමියන් පවුලේ කටයුතුවලට හා සමාජීය කටයුතුවලට ලබාදෙන දායකත්වය ඉතාම අල්ප බව. ඔවුන් සිදුකරන්නේ මිල මුදල් ලබා දීම පමණයි. මේ නිසාම තනිව වගකීම් දරන කාන්තාව පීඩනයට ආතතියට ලක්වෙනවා.

මේවා ජයගන්නේ කෙසේද? 

පවුලෙන් දුරබැහැර සිටින සැමියෙකු සිටින විට පවුලේ කටයුතුවලට ඔහුව සම්බන්ධ කරගන්න නොලැබෙන එක සැබෑවක්. නමුත් විශාදයට, මානසික පීඩනයට, වෙහෙසට පත් නොවී පවුලේ වැඩකටයුතු කරගෙන යන්නේ කොහොමද කියන දේ අපි සැලසුම් කරගත යුතුයි.

විශේෂයෙන් මෙවන් මවුවරුන් තමන්ගේ සැමියාගෙන් දරුවන්ට අහිමි වන ආරක්ෂාව ලබාදෙන්න අධික කැප කිරීමක් කරනවා. මෙය ඇතැම් විට වුවමනාවටත් වඩා වැඩි විය හැකියි. ඒ වගේම දරුවන්ගේ වැඩකටයුතු නොපිරිහෙළා සිදුකරන්නට මෙවැනි මව්වරුන් උත්සාහ ගන්නවා. එයින් නොදැනුවත්ව සිදුවෙන්නේ දරුවාගේ ස්වාධීනත්වයට හානි සිදුවීමයි. මෙහිදී බොහෝ කාන්තාවන් තමන්ට තමන්ව අහිමි  කරගනු ලබනවා. මේ නිසාම මවුවරුන් තමන්ගේ පිරිමි දරුවන් ගැහැනු දරුවන් වගේ හදාවඩා ගන්න උත්සාහ දරනවා. මෙවැනි මවුවරුන් තමන්ගේ පුතාලව තනිව එළියට යවන්න බයයි. ඒ වගේම තනිව වගකීම් පවරන්න බයයි.

පියාගේ සහභාගිත්වය නිවැරදිව ලැබෙන පවුලක පිරිමි දරුවෙකුට තනිව කටයුතු කිරීමට, ස්වාධීන වීමට යම් පන්නරයක් ලැබෙනවා. ඒ වගේම වයසින් වැඩෙත්ම පිරිමියෙකුගේ ලිංගික වශයෙන් සිදුවන වෙනස්කම්  පවා ඔවුන් පියා තුළින් හඳුනා ගන්නවා. නමුත් අම්මා ළඟ පමණක් වැඩෙන පිරිමි ළමුන් තුළ සිදුවන ඇතැම් ලිංගික වෙනස්කම් මවුවරුන්ගේ නොදැනුවත් බව නිසාම වැරැදියට වටහා ගන්නවා. අවසානයේ මෙවැනි මව්වරුන් විශාදය දක්වා රැගෙන යන තරමට සිතින් විඳවනවා. නමුත් පියෙක් සිටින පවුලක පියාට මෙම ලක්ෂණ හා සනීපාරක්ෂක ක්‍රම තමන්ගේ පුතාට පහසුවෙන් පැහැදිලි කිරීම සිදුකළ හැකියි.

තනිව පවුලේ වගකීම් දරන මවක සිටින පවුලක වැඩෙන පිරිමි ළමුන්ට සම වයසේ කණ්ඩායම් සමග ගැවසෙන්නට ඉඩකඩ ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. මේ නිසාම එම දරුවන් නිවසේ මව සමග ගැවසෙන වගේම මවගෙන් සියලුම වැඩකටයුතු කරගන්න ළමුන් බවට පත්වෙනවා. අතීතයට වඩා දැන් පිරිමි ශරීර තුළ ගැහැනු පෞරුෂ පවතින්නේ මේ හේතුව නිසයි. එය ඉතාම හානිකරයි. විශේෂයෙන් පිරිමි ළමයෙකු තුළ අතීතයේ සිටම පවතින්නේ රංචු වශයෙන් ගැවසීමේ ක්‍රමවේදයයි. නමුත් මවක් සමග වැඩෙන පිරිමි දරුවා අනාගතයේ සාර්ථක විවාහ දිවියක් ගත නොකරන අයෙක් බවට පෞරුෂය බිඳ වැටෙනවා.

ඒ නිසා තනිව පවුලේ වගකීම් දරන මවක් මෙවන් දරුවන් බිහිවන්නට නොදී තමන්ගේ පෞරුෂය ශක්තිමත් කරගත යුතුයි. සමාජය නරකයි කියා දරුවන් ගේ අස්සට කර තබනවාට වඩා සිදුකළ යුත්තේ දරුවන්ට සමාජ ප්‍රවේශය ලබා දී ආරක්ෂාව සැපයීමයි. ගැහැනු දරුවන් සිටින මවක් නම් ඔවුන්ට ඔවුන්ගේ වැඩ තනිව කර ගැනීමට ඉඩක් සාදා දිය යුතුයි. විශේෂයෙන් තනිව පවුලේ කටයුතු ඉටු කරන මවකට විශාදය ඇති වෙන්නේ දරුවන්ගේ කටයුතු අනවශ්‍ය ලෙස කරට ගැනීම නිසාත්, අනවශ්‍ය ලෙස ආරක්ෂාව සපයන්නට පෙලඹීමත් නිසායි.

කුඩා කාලයේ සිට දරුවාට ස්වාධීනව කටයුතු කරන්නට දීමෙන් හා සමාජයට දරුවා යොමුකර ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම තුළින් තනිව දරුවන්ගේ වගකීම් දරන මවකට අනාගතයේ මානසික පීඩනයට ලක් නොවී ජීවත්වීමට මාර්ගය සකස්කරගත හැකියි.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment